January 23, 2025

උඩරට දුම්රියේ ‘ඊ-ටිකට්පත්’ ජාවාරමට සම්බන්ධ යැයි කියන 37 හැවිරිදි සැකකරුවකු මහනුවර කොට්ඨාස අපරාධ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මහනුවර පොලිස් කොට්ඨාසයේ සුදුහුම්පොළ ප්‍රදේශයේදී ඊයේ (22) සවස මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සුදුහුම්පොළ ප්‍රදේශයේම පදිංචිකරුවකු වන සැකකරු සතුව තිබී අන්තර්ජාලය හරහා මිලදී ගත් ‘ඔඩිසි’ දුම්රිය ටිකට්පත් 21ක්, නීති විරෝධී ලෙස ටිකට් අලෙවියෙන් ලැබුණු බවට විශ්වාස කෙරෙන රුපියල් 130,670ක මුදලක්, පෙර ගනුදෙනු ලේඛනගත කළ සටහන් පොත් 130ක් සහ ජංගම දුරකථනයක් සොයා ගෙන තිබේ.

විදේශීය සංචාරකයන් ඉලක්ක කර ගනිමින් දුම්රිය ටිකට්පත් නැවත විකිණීමෙන් මෙම පුද්ගලයා ලාභ ලැබූ බවට පොලිසිය සැක කරයි.

සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) භාර දී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය දා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේ මෙම ජනප්‍රිය සංචාරක මාර්ගය සඳහා වන විද්‍යුත් ටිකට්පත් අන්තර්ජාලයට නිකුත් කිරීමෙන් තත්පර 42ක් ඇතුළත විශ්මයජනක ලෙස විකිණී අවසන් වූ බවට චෝදනා එල්ල වන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

ඇතැම් කණ්ඩායම් සැක සහිත ක්‍රම මගින් ලබා ගත හැකි සියලුම ටිකට්පත් මිලදී ගෙන ඒවා අධික මිල ගණන් යටතේ සංචාරකයන්ට නැවත අලෙවි කරන බවට ද චෝදනා එල්ල විය.

රු. 2,000ක මිලකට ලබා ගන්නා ටිකට්පත් රුපියල් 16,000ක් වැනි මුදලකට නැවත අලෙවි කරන බව ද වාර්තා වේ.

 

42.31%
17.27%
32.76%