March 28, 2025

කෑගල්ල මහරෝහලේ (ශික්ෂණ) ජ්‍යෙෂ්ඨ දන්ත හා මුඛ හනුක ශල්‍ය වෛද්‍යවරයකුට අද පෙරවරුවේ රෝහල් පරිශ්‍රය තුළදී පුද්ගලයකු විසින් අමානුෂික ලෙස පහර දී ඇති බව වාර්තා වේ.

විශේෂඥ වෛද්‍යවරයා රෝහල් පරිශ්‍ර‍ය තුළ ඇවිද යමින් සිටියදී ගැබිනි කාන්තාවකගේ ඇඟේ හැපුණු බව පවසමින් පුද්ගලයකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි පැවසේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සමඟ වෛද්‍ය වෘත්තිකයන් විරෝධය පළකර ඇති අතර රෝහල් කාර්ය මණ්ඩලයට එරෙහි ප්‍රචණ්ඩත්වය වැළැක්වීමට කඩිනම් පියවර ගන්නා ලෙස ඔවුහු ඉල්ලා සිටිති.

රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය මෙම ප්‍රහාරය දැඩි ලෙස හෙළාදකින අතර, ඊට ප්‍රතිචාර වශයෙන් එම සංගමයේ විධායක කමිටුව කෑගල්ල දිස්ත්‍රික්කය තුළ හෙට (29) දහවල් දක්වා සංකේත වැඩවර්ජනයක් ප්‍රකාශයට පත්කර තිබේ.

වෛද්‍ය වෘත්තිකයන් මුහුණදෙන ආරක්‍ෂාව පිළිබඳ ගැටළු විසඳීම සඳහා රජය කඩිනමින් මැදිහත්විය යුතු බව එම සංගමය අවධාරණය කරයි.

මේ අතර, වෛද්‍ය විශේෂඥයන්ගේ සංගමය ද රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ මෙම පියවරට සිය සහාය ලබා දී ඇති අතර, සෞඛ්‍ය සේවකයන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියාත්මක වන ලෙස රජයෙන් ඉල්ලා සිටියි.