60.21%
17.34%
18.42%
August 20, 2024

ඉතාලියේ සිසිලි වෙරළට ඔබ්බෙන් ගිලී ගිය සුඛෝපභෝගී යාත්‍රාවේ මගීන් අතර ශ්‍රී ලාංකිකයකු ද සිටින බව වාර්තා වේ.

බ්‍රිතාන්‍ය ධජය සහිත මීටර් 56ක් දිගින් යුතු එම යාත්‍රාව දරුණු කුණාටුවකට මුහුණ දී ඊයේ අලුයම ගිලී ගොස් තිබිණි.

ඉතාලි හදිසි සේවා මගින් එක් මරණයක් තහවුරු කර ඇති අතර පුද්ගලයන් 6 දෙනෙකු අතුරුදහන් වී සිටින බව වාර්තා විය.

‘Bayesian’ ලෙස නම් කර ඇති මෙම යාත්‍රාවේ කාර්ය මණ්ඩලයේ 10 දෙනෙකු සහ මගීන් 12 දෙනෙකු ඇතුළුව පුද්ගලයන් 22 දෙනෙකු සිට ඇත.

මගීන් අතර එක්සත් රාජධානිය, නවසීලන්තය, ශ්‍රී ලංකාව, අයර්ලන්තය, කැනඩාව සහ එක්සත් ජනපදය යන රටවල පුරවැසියන් සිටි බව සඳහන් විය.

බ්‍රිතාන්‍ය-ප්‍රංශ ද්විත්ව ජාතිකයන් දෙදෙනෙකු ද යාත්‍රාවේ සිටි බව වාර්තා විය.

අනතුරින් පසු වහා රෝහලට රැගෙන ගිය වසරක් වයසැති බ්‍රිතාන්‍ය දැරියක් ඇතුළු 15 දෙනෙකු බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත් වී තිබිණි.

බේරාගත් පුද්ගලයන්ගෙන් 8 දෙනෙකු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවේ.

කුණාටුව හමා එන විට යාත්‍රාවේ නැංගුරම කඩා වැටී තිබූ අතර, කුඹගස් කැඩී යාත්‍රාව අස්ථාවර වී අවසානයේදී යාත්‍රාව පෙරළී ගිලී ගිය බව සාක්ෂිකරුවන් ප්‍රකාශ කර තිබේ.

ඉතාලි වෙරළාරක්ෂක නිලධාරීන් වාර්තා කළේ සුන්බුන් මීටර් 50ක් ගැඹුරේ පවතින අතර, අතුරුදන් වූ මගීන් සොයා කිමිදුම්කරුවන් තවදුරටත් සෝදිසි කිරීම් සිදු කරන බවයි.

මියගිය පුද්ගලයාගේ සිරුර සුන්බුන් තිබූ ස්ථානය අසලින් සොයා ගෙන ඇති අතර, ඔහුගේ ජාතිකත්වය තවමත් තහවුරු කර නොමැත.

ඉතාලි හදිසි සේවා පැමිණීමට පෙර ගිලී ගිය යාත්‍රාව අසල සිටි ලන්දේසි ධජය සහිත යාත්‍රාවක් ආධාර ලබා දුන් බවට ද වාර්තා වේ.

 

60.21%
17.34%
18.42%