October 13, 2023

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) වාර්ෂික රැස්වීම්වලට සමගාමීව, ‘ශ්‍රී ලංකාව: ණය තිරසාරභාවය සහ ආණ්ඩුකරණ ප්‍රතිසංස්කරණ අත්කරගැනීමේ මාර්ග’ යන මාතෘකාව යටතේ සංවිධානය කර ඇති වැඩසටහනක් අද (ඔක්තෝබර් 13) මොරොක්කෝවේ මරකේෂ් නුවර දී පැවැත්වේ.

මෙම වැඩසටහන සංවිධානය කර ඇත්තේ “දූෂණ විරෝධී ප්‍රතිසංස්කරණ හරහා ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවීම වෙනුවෙන් වන ශ්‍රී ලංකාවේ සිවිල් සමාජ සංවිධාන ව්‍යාපාරය” හා සම්බන්ධව සිටින සිවිල් සමාජ සංවිධානයන්ය.

ශ්‍රී ලංකාව ණය අර්බුදයෙන් මුදාගැනීම අරමුණු කරගත් ප්‍රධාන ප්‍රමුඛතා දෙකක් කෙරෙහි මෙම වැඩසටහනේදී අවධානය යොමුකරනු ඇත.

ශ්‍රී ලංකාවේ සිවිල් සමාජය සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවේ ආණ්ඩුකරණය සම්බන්ධයෙන් වෙන්වෙන්ව ප්‍රකාශයට පත්කර ඇති විශ්ලේෂණ වාර්තා ද්විත්වය ඉන් පළමුවැන්න යි.

දෙවැන්න වන්නේ රටේ ණය සාර්ථකව සහ තිරසාරව ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ IMF, රජය සහ ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගේ කාර්යභාරය යි.

“දූෂණ විරෝධී ප්‍රතිසංස්කරණ හරහා ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවීම වෙනුවෙන් වන ශ්‍රී ලංකාවේ සිවිල් සමාජ සංවිධාන ව්‍යාපාරය” හා සම්බන්ධව සිටින සිවිල් සමාජ සංවිධානයන් එක්ව සම්පාදනය කරන ලද “ශ්‍රී ලංකාවේ රාජ්‍යකරණය පිළිබද සිවිල් සමාජ විශ්ලේෂණ වාර්තාව” සැප්තැම්බර් මැද භාගයේ දී ප්‍රකාශයට පත් කෙරිණ.

ශ්‍රී ලංකාවේ වත්මන් අර්බුදකාරී තත්ත්වයට මුල් වූ හේතුන් ආමන්ත්‍රණය කෙරෙන ශ්‍රී ලංකාවට ඔබින ආණ්ඩුකරණ ප්‍රතිසංස්කරණ නිර්දේශ 34ක් මෙහි අන්තර්ගත ය.

අන්තර්ජාතික මූල්‍ය අරමුදල ද, සැප්තැම්බර් මාසය අග භාගයේ දී, ශ්‍රී ලංකාවේ ආණ්ඩුකරණය සම්බන්ධයෙන් වූ ඔවුන්ගේ විශ්ලේෂණ වාර්තාව ප්‍රකාශයට පත්කළේය.

ආසියාකරයේ රටක් සම්බන්ධව අන්තර්ජාතික මූල්‍ය අරමුදල එවැනි ආකාරයේ වාර්තාවක් ප්‍රකාශයට පත් කළ පළමු අවස්ථාව ද, එය විය.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුකරණය සම්බන්ධයෙන් සිදුකර ඇති මෙම විශ්ලේෂණ වාර්තා ද්විත්වයට නීතියේ ආධිපත්‍යය, විනිවිදභාවය සහ වගවීම වැඩිදියුණු කිරීම සඳහා ශක්තිමත් පදනමක් ගොඩනැගීමේ හැකියාව පවතී.

මෙම වැදගත් කරුණු ද, සිවිල් සමාජ සංවිධාන එක්ව පවත්වන්නට යන මේ වැඩසටහනේ දී, සාකච්ඡාවට ලක්කෙරෙණු ඇත.

ණය ගැනීමේ සහ පියවීමේ ක්‍රියාවලිය (ණය ආණ්ඩුකරණය) ක්‍රමවත් කිරීම නැවත නැවතත් ණය බරට වැටෙන රටවල් එම ගැටලුවෙන් ගලවා ගැනීමට ඉතා වැදගත් වේ.

ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇති බාහිර පාර්ශවයන්ගෙන් ඉහළ ණය කප්පාදුවක් (Haircut) ලබාගැනීම ඇතුළු ණය තිරසරභාවය අත්පත් කරගැනීම සඳහා දැනට තිබෙනවාට වඩා දෘඩ ඉලක්කයන් තබා ගැනීම සම්බන්ධයෙන් ද, මෙම වැඩසටහනේ දී, අවධානය යොමු කෙරෙණු ඇත. එසේ කිරීම රට මත පැටවී ඇති සමස්ත ණය බර සැහැල්ලු කරනු ඇත.