42.31%
17.27%
32.76%
October 4, 2024

අපරාධ, වංචා සහ අනෙකුත් ආන්දෝලනාත්මක සිද්ධීන් සම්බන්ධයෙන් පැවැත්වෙන ඉහළ පෙළේ විමර්ශන කිහිපයක ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා විශේෂ රැස්වීමක් පොලිස් මූලස්ථානයේදී පැවැත්වී තිබේ.

මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයට අලුතින් පත් වූ ලේකම් රවී සෙනෙවිරත්නගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමේදී දැනට පවතින සහ ඇණහිට ඇති විමර්ශන පිළිබඳ අවධානය යොමු වී ඇත.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම රැස්වීමට සහභාගි වූ බව වාර්තා වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසන්නේ තාවකාලිකව නවතා දමා තිබූ පරීක්ෂණ සහ අනවශ්‍ය ලෙස ප්‍රමාද වූ පරීක්ෂණ ඇතුළු පුළුල් පරාසයක කරුණු මෙම හමුවේදී සාකච්ඡා කෙරුණු බවයි.

දේශපාලන බලපෑම් මත කිසියම් විමර්ශනයකට බාධා එල්ල වී ඇත්දැයි විමසා බැලූ ලේකම්වරයා, යම් ප්‍රමාදයක් ඇතිවීමට බලපාන හේතු පිළිබඳ අවධානය යොමු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කර තිබේ.

නැවත ආරම්භ කළ යුතු පරීක්‍ෂණ මොනවාද යන්න සහ බාහිර සාධක මගින් බලපෑම් විය හැකි සිද්ධීන් හඳුනා ගැනීම ද මෙම රැස්වීමේදී සමාලෝචනය කරන ලදී.

එම සාකච්ඡාවේදී ප්‍රධාන විමර්ශන කිහිපයක් පිළිබඳ අවධානය යොමු කර ඇති බව ද වාර්තා විය.

පරීක්ෂණ ඵලදායි ලෙස ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය පියවර ගැනීම සහතික කිරීම සඳහා වාර්තාවක් සකස් කරන බව ද පොලිසිය පවසයි.

42.31%
17.27%
32.76%