October 24, 2023

2025 වන විට ගගනගාමීන් අභ්‍යවකාශයට රැගෙන යෑමේ මෙහෙයුමට අදාළව පැවැති තාක්ෂණික දෝෂයක් මඟහරවා ගැනීමෙන් පසු, පරීක්ෂණ ගුවන් ගමන් මාලාවේ පළමුවැන්න පසුගිය සෙනසුරාදා දිනයේ සාර්ථකව සිදුකළ බව ඉන්දීය අභ්‍යවකාශ ඒජන්සිය පවසයි.

ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ ප්‍රධානී එස්.සෝමනාත් ප්‍රකාශ කර ඇත්තේ, මෙම පරීක්ෂණයට අභ්‍යවකාශ යානයේ කාර්ය මණ්ඩල ගලවා ගැනීමේ පද්ධතිය පරීක්ෂා කිරීම වෙනුවෙන් යානයක් අභ්‍යවකාශය වෙත යොමුකර එය නැවත සුරක්ෂිතව ගෙන්වාගැනීම ඇතුළත් වූ බවයි.

ඒ අනුව, එලෙස යොමුකළ යානය නැවත පෘථිවියට පැමිණ ඇත්තේ බෙංගාල බොක්ක දෙසිනි.

පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් යානය දියත්කිරීම විනාඩි 45කින් ප්‍රමාදවී තිබිණි.

එන්ජිමේ ඇති වූ ගැටලුවක් සහ භූගත පරිගණකයේ ගැටලුවකින් යානයේ සෝපාන නතරවීම නිසා එම උත්සාහය යළිත් පැයකට වඩා කල්දැමුණු බව සෝමනාත් පවසා ඇත.

අධීක්ෂණ විෂමතාවක් හේතුවෙන් පද්ධතියේ ඇති වූ එම දෝෂය නිවැරදි කර, මිනිත්තු 75කට පසුව ඉන්දියාවේ දකුණුදිග ශ්‍රීහරිකෝටා චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයේ සිට යානය සාර්ථකව දියත්කළ බව සෝමනාත් වැඩිදුරටත් පැවසීය.

මෙම පරීක්ෂණය මගින්, ලබන වසරේදී රොබෝවක් අභ්‍යවකාශයට යැවීම ඇතුළු මිනිසුන් රහිත සෙසු මෙහෙයුම් සඳහා මග පාදනු ඇති බව ඉන්දීය අභ්‍යවකාශ ඒජන්සිය පවසයි.

සැප්තැම්බරයේදී, සඳෙහි දක්ෂිණ ධ්‍රැව ප්‍රදේශය ආසන්නයට මිනිසුන් රහිත යානයක් ගොඩබෑමෙන් සති දෙකකටත් අඩු කාලයකදී ඉන්දියාව සූර්යයා අධ්‍යයනය කිරීම සඳහා සිය පළමු අභ්‍යවකාශ මෙහෙයුමද සාර්ථකව දියත් කළේය.

සඳ මත ගොඩබෑ සිව්වැනි රට ලෙස ඉන්දියාව සැප්තැම්බර් මාසයේදී එක්සත් ජනපදය, සෝවියට් සංගමය සහ චීනය සමඟ එක් වූයේ 2019දී සඳ මත ගොඩබෑමේ අසාර්ථක උත්සාහයෙන් පසුවයි.

තාක්‍ෂණය සහ අභ්‍යවකාශ බලවතකු ලෙස ඉන්දියාවේ නැගී එන ස්ථාවරය මෙම සාර්ථක මෙහෙයුම මගින් ප්‍රදර්ශනය කරන අතර, නැගී එන රටක් ලෙස ඉන්දියාව ලොව තුළ තම ස්ථානය තහවුරු කරගැනීමේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ අභිලාෂයද සපුරාලයි.

ඉන්දියාවේ අනාගත අභ්‍යවකාශ සැලසුම් පිළිබඳ සංඥා කරමින් අගමැති මෝදි මේ සතිය ආරම්භයේදී ප්‍රකාශ කළේ, ඉන්දියාවේ අභ්‍යවකාශ ඒජන්සිය 2035 වන විට ඉන්දීය අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් පිහිටුවීමටත් 2040 වන විට ඉන්දීය ගගනගාමියකු සඳ මතට ගොඩ බැස්වීමටත් සූදානම් බවයි.

1960 ගණන්වල සිට ක්‍රියාකාරීව සිටින ඉන්දියාව, තමන් වෙනුවෙන් සහ අනෙකුත් රටවල් වෙනුවෙන් චන්ද්‍රිකා දියත් කර ඇති අතර, 2014 දී සාර්ථක ලෙස එක් චන්ද්‍රිකාවක් අඟහරු ග්‍රහයා වටා කක්ෂගත කිරීමට සමත්විය.

ඉන්දියාව, එක්සත් ජනපදයේ සහයෝගයෙන් ලබන වසරේදී අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත සිය පළමු මෙහෙයුම සිදුකිරීමටද සැලසුම්කර තිබේ.