42.31%
17.27%
32.76%
October 4, 2024

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඇතුළු කාන්තා දේශපාලනඥයන්ට එරෙහිව සමාජ මාධ්‍ය වේදිකා හරහා සිදුකරන බව කියන අපහාසාත්මක ප්‍රචාර පිළිබඳ සොයා බලා නීතිමය පියවර ගන්නා ලෙස බලකරමින් කොළඹ පිහිටි අගමැති කාර්යාලය ඉදිරිපිට සාමකාමී විරෝධතාවක් පැවැත් වී තිබේ.

දේශපාලන ක්ෂේත්‍රයේ සහ සිවිල් සංවිධාන නියෝජනය කරන කාන්තාවන් පිරිසක් ඊයේ(3) පැවැත්වූ මෙම සාමකාමී විරෝධතාවේදී අදාළ ඉල්ලීම සිදුකර තිබුණේ කාන්තා, ළමා හා යෞවන කටයුතු ඇමැතිවරිය වන අගමැති ආචාර්ය හරිනි අමරසූරිය වෙතයි.

1956 දී හිටපු අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක විසින් සිදු කරන ලද සමාජීය වෙනස්කම් නිසා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා වැනි සාමාන්‍ය පසුබිමක පුද්ගලයකුට මෙවන් ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකි වූ බවට චන්ද්‍රිකා කුමාරතුංග කළ ප්‍රකාශයකින් පසුව ඇයව විවේචනය කරමින් සමාජ මාධ්‍ය වේදිකාවල පෝස්ට් කිහිපයක් පළ වී තිබිණි.

විරෝධතාව අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමින් මානව හිමිකම් ක්‍රියාකාරිනියක සහ නීතීඥවරියක වන නිමල්කා ප්‍රනාන්දු කියා සිටියේ කාන්තාවන් දේශපාලනයේ නිරත වන්නේ විවිධ ආකාරයේ අභියෝග මධ්‍යයේ බව බලය දරන්නන් ඇතුළු සියලු දෙනා දන්නා බවයි.

“මෙය ජනාධිපතිට, අගමැතිට හෝ රජයට එරෙහි ක්‍රියාවක් නොවේ, නමුත්, දේශපාලනය ගැන කතා කරන කාන්තාවන් ඔවුන්ගේ ලිංගිකත්වය සහ සමාජ තත්ත්වය වැනි අංශ පිළිබඳ අදහස් දක්වමින් අතිශය අගෞරවනීය ලෙස විවේචනය කරන ප්‍රවණතාවක් තිබෙනවා. එවැනි ව්‍යාපාරවල ඉලක්ක කරගෙන තිබෙන්නේ අපිවයි. මේවා පටගනිද්දීම අවසන් කළ යුතුයි.” යනුවෙන් ඇය ප්‍රකාශ කර ඇත.

මෙවැනි ව්‍යාපාර දැනටමත් දේශපාලනයේ යෙදී සිටින කාන්තාවන්ට සහ දේශපාලනයට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින කාන්තාවන්ට බලපානු ඇති බව පවසන ඇය ජනතාව අපේක්ෂා කරන දේශපාලන ප්‍රතිසංස්කරණ ස්ථාපිත කිරීම සඳහා එවැනි දේ ඉවත් කළ යුතු බව පැවසුවාය.

“ආචාර්ය අමරසූරිය කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා බොහෝ දේ කර ඇති බව අපි දන්නවා. ඔවුන් ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කාන්තා අයිතිවාසිකම් තහවුරු කිරීමට ඔවුන්ගේ සැලසුම් පවා දක්වා තිබෙනවා. අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නේ එම පොරොන්දු ක්‍රියාත්මක කරන ලෙසයි.” යනුවෙන් ඇය සඳහන් කළාය.

වින්දිතයන් පොලිසියට ගොස් පැමිණිලි කර නඩු පවරන තෙක් බලා නොසිට රජය මේ ආකාරයේ සිදුවීම් සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියාත්මක කළ යුතු බව ඔවුන්ගේ අදහස වී තිබේ.

විරෝධතාව අතරතුර හිටපු ඇමැතිවරුන් වන ෆෙරියල් අෂ්රෆ්, සුමිත්‍රා ප්‍රියංගනී අබේවීර, අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය තාරා ද මෙල් ඇතුළු ක්‍රියාකාරීන් 50කට අධික පිරිසකගේ අත්සනින් යුත් ලිපියක් ද අගමැති කාර්යාලය වෙත භාර දී ඇත.

වෛරය ප්‍රචාරණය කරන සහ කාන්තාවන්ට සහ වැඩිහිටියන්ට අවමන් කරන පුද්ගලයන්ට එරෙහිව සුදුසු නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කරන ලෙස අදාළ බලධාරීන්ට උපදෙස් දී මෙම ගැටලුව විසඳීම අගමැතිවරියගේ මෙන්ම රජයේ වගකීම ද වන බව එමගින් පෙන්වා දී ඇත.

ආචාර්ය හරිනි අමරසූරියගේ පෞද්ගලික ලේකම්වරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව සුමිත්‍රා ප්‍රියංගනී අබේවීර ප්‍රකාශ කර තිබුණේ ඉදිරි මහ මැතිවරණය සඳහා නාමයෝජනා ක්‍රියාවලියෙන් පසුව බොහෝ විට ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ආචාර්ය අමරසූරිය හමුවීමට වේලාවක් ලබාදෙන බවට අගමැති කාර්යාලයෙන් තමන්ට දැනුම් දුන් බවයි.

42.31%
17.27%
32.76%