January 3, 2024

දිවයිනේ ප්‍රදේශ කිහිපයක රෝහල්වල ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ(chest physicians),සැළකිව යුතු හිඟයක් දක්නට ලැබෙන බව වාර්තා වේ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට, මේ වනවිට දිවයිනේ ශ්වසන රෝග පිළිබඳ වෛද්‍ය උපදේශකවරුන් 30 දෙනකු සේවය කරන අතර, ඔවුන්ගෙන් 10 දෙනකුට ආසන්න පිරිසක් පසුගිය මාස කිහිපය තුළ රට හැරයෑම හේතුවෙන් රෝහල් කිහිපයක් එම වෛද්‍යවරුන්ගේ හිඟයකට මුහුණ පා ඇත.

එම ක්ෂේත්‍රයේ තවත් වෛද්‍යවරු පිරිසක් ද රට හැරයෑමට සැලසුම් කරමින් සිටින බව පැවැසේ.

ආරංචි මාර්ගවලට අනුව, දැනට පවතින පුරප්පාඩු අතරට කරාපිටිය ශික්ෂණ රෝහලේ පුරප්පාඩු දෙකක් සහ මහනුවර ජාතික රෝහලේ එක් පුරප්පාඩුවක් ද, වැලිසර ළය රෝහල, අවිස්සාවේල්ල මූලික රෝහල, කුරුණෑගල ශික්ෂණ රෝහල, අනුරාධපුර, මඩකලපුව,යාපනය, පොළොන්නරුව, අම්පාර සහ මන්නාරම දිස්ත්‍රික් මහ රෝහල්වල ද පුරප්පාඩුව බැගින් පවතී.

මේ අතර, මහනුවර ජාතික රෝහලේ සහ වයඹ විශ්වවිද්‍යාලයේ සේවය කරන ශ්වසන වෛද්‍ය විශේෂඥ වෛද්‍ය දුෂාන්ත මැදගෙදර සම්බන්ධයෙන් ජාතික රෝහලේ ඇතැම් වෛද්‍ය නිලධාරීන්ගේ අවධානය යොමු වී ඇත.

රෝහල් ආරංචි මාර්ග පැවසුවේ රෝහලේ සැබෑ පුරප්පාඩු සංඛ්‍යාව දෙකක් විය යුතු නමුත් වෛද්‍ය මැදගෙදර විශ්වවිද්‍යාලයේ ද සේවය කරන අතරතුර එහි සේවය කිරීම හේතුවෙන් පුරප්පාඩුව එකක් ලෙස පවතින බවයි.

මේ සම්බන්ධයෙන් වෛද්‍ය මැදගෙදර පවසා ඇත්තේ, තමා ස්ථිරවම සෞඛ්‍ය අමාත්‍යංශයට අනුයුක්තව සේවය කරන අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ(වෛද්‍ය අසේල ගුණවර්ධන) අනුමැතිය ඇතිව වයඹ විශ්වවිද්‍යාලයේ සේවය කරන බවයි.

“විශ්වවිද්‍යාලයේ වැඩකළා කියලා මට සතයක්වත් ලැබෙන්නේ නැහැ. ඒක මම එතනට දෙන සේවාවක්. මට වැටුපක් ලැබෙන්නේ රෝහලේ වැඩකිරීමට පමණයි. ඇත්තටම තැන් දෙකක වැඩකරන්න සිදුවීම නිසා මගේ ජීවිතය දුෂ්කර තත්ත්වයකට පත්වෙලා තියෙන්නේ ” යනුවෙන් ඔහු පවසා ඇත.

රජයේ ප්‍රමුඛ පෙළේ රෝහල් කිහිපයකම මේ වන විට විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍ය වෘත්තිකයන්ගේ සැළකිව යුතු හිඟයක් පවතින අතර, විශ්‍රාමික වෛද්‍ය වෘත්තිකයන් කොන්ත්‍රාත් පදනම මත සේවයට කැඳවීමට පවා සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කළේය.

කෙසේවෙතත්, වෛද්‍ය වෘත්තිකයන් විශාල වශයෙන් රට හැර යෑමට හේතු වී ඇති ගැටලුවලට විසඳුම් ලබා දී නොමැති බවට පාර්ශ්ව කිහිපයකින් රජයට චෝදනා එල්ල වී තිබේ.

ශ්වසන වෛද්‍ය විද්‍යාව පුළුල් පරාසයක රෝග ආවරණය කරන අතර ඇදුම, සිස්ටික් ෆයිබ්‍රෝසිස්, අන්තරාල පෙනහළු රෝග සහ පෙනහළු බද්ධ කිරීම වැනි රෝග ඒ අතර වේ.(The Morning)

42.31%
17.27%
32.76%