August 3, 2024

පියාසර කිරීමට නොහැකිව රෝගී තත්ත්වයේ සිටි දුර්ලභ විශේෂයකට අයත් සංක්‍රමණික පක්ෂියකු හික්කඩුව වෙරළ තීරයෙන් හමුවී තිබේ.

එම පක්ෂියා වනජීවී නිලධාරීන් කණ්ඩායමක් විසින් බේරාගෙන ප්‍රතිකාර සඳහා අත්තිඩිය කුරුළු අභයභූමියට යොමුකර ඇත.

හික්කඩුව වනජීවී උද්‍යාන භාර නිලධාරී අසංග ගුණවර්ධන පවසන්නේ මෙම පක්ෂියා ෂියර්වෝටර් (දියවලකයා) ලෙස හඳුනාගෙන ඇති බවයි.

එම පක්ෂීන්ගේ නිජබිම වන්නේ නැගෙනහිර අප්‍රිකාවට සහ ඉන්දියන් සාගරයට බටහිරින් පිහිටි නිවර්තන කලාපයයි.

මෙම නිවර්තන පක්ෂියා ජීවත් වන්නේ මිනිස් වාසභූමිවලින් ඈත්ව රංචු වශයෙන් බවත් ගල්පරවල හෝ වැලි කඳු වළවල්වල බිත්තර දමන බවත් ගුණවර්ධන පවසයි.

පැටවුන් බිහි වූ පසු, පැටවුන් පියාසර කිරීමට හැකි වන තෙක් දිගු කාලයක් ආරක්ෂා කිරීමට මෙම පක්ෂීන් කටයුතු කරන බව ද ඔහු සඳහන් කරයි.

ෂියර්වෝටර් පියාසර කිරීමේ ශක්තිවන්තයන් වන අතර දුර ගමන් කිරීමට හැකියාව ඇත.

මුහුදේ පාවෙන පොලිතින් හෝ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ආහාරයට ගැනීමෙන් මෙම පක්ෂීන් රෝගාබාධවලට ගොදුරු වන බව ද ගුණවර්ධන පෙන්වාදෙයි.

හික්කඩුව වෙරළ තීරයේදී හමුවූ ෂියර්වෝටර් පක්ෂියාද එවැනි අපද්‍රව්‍ය ශරීරගත වීමෙන් ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් අකර්මණ්‍ය වී පියාසර කිරීමට නොහැකිව සිටින්නට ඇතැයි ඔහු සඳහන් කළේය.

මෙරට දකුණු ප්‍රදේශයේ දී ෂියර්වෝටර් පක්ෂියකු දර්ශනය වූ පළමු අවස්ථාව ලෙස ද සැළකේ.