April 18, 2025

හිටපු විගණකාධිපතිවරයකුගේ ක්‍රියාකලාපය හමුවේ රටට විශාල වශයෙන් මූල්‍යමය පාඩු සිදුවූ බව පවසමින් විදුලි පාරිභෝගික සංගමය චෝදනාවක් එල්ල කර තිබේ.

ඒ අනුව, එම සංගමය පෙන්වා දෙන්නේ, හිටපු විගණකාධිපතිවරයකු යටතේ විගණකාධිපති දෙපාර්තමේන්තුව ලංකා විදුලිබල මණ්ඩලයට සම්බන්ධ තීරණාත්මක විගණන කිහිපයක් සිදුකිරීමට අපොහොසත් වී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විදුලි පාරිභෝගික සංගමයේ ප්‍රධාන ලේකම් සංජීව ධම්මික විසින් විගණකාධිපති දෙපාර්තමේන්තුව, විපක්ෂ නායක කාර්යාලය, පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (COPE), අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලිපියක් ද යොමු කර තිබේ.

එමගින් ඔහු චෝදනා කර ඇත්තේ, ජාතික වැදගත්කමකින් යුත් ගැටළු විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් නොසළකා හැර ඇති බව‍යි.

2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත යටතේ විදුලිය මිලදී ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව ස්වාධීන විගණනයක් සිදුකිරීම අවශ්‍ය බවත්, කුසලතා මත පදනම් වූ ක්‍රමයක් මත, හැකි අඩුම මිලට විදුලිය මිලදී ගැනීම සහතික කිරීම සඳහා මෙම විගණනය අනිවාර්ය බවත් අදාළ ලිපිය මගින් සංජීව ධම්මික පෙන්වාදෙයි.

එමෙන්ම ඔහු පවසන්නේ ලංකා විදුලිබල මණ්ඩලයට වාර්ෂිකව විදුලිය මිලදී ගැනීම් සඳහා රුපියල් බිලියන 200 ක් වැයවන අතර, මෙම ගනුදෙනු නීතියට අනුකූලව සිදුකර ඇත්දැයි විගණනයක් පැවැත්වීමෙන් තහවුරු කිරීම ජාතික විගණන කාර්යාලයේ වගකීම බවයි.

කෙසේවෙතත්, හිටපු විගණකාධිපතිවරයාගේ පාලන සමයේදී එය සිදුනොවූ අතර, ඔහුගේ බිරිඳ විදුලිබල මණ්ඩලයේ වරප්‍රසාද ලත් තනතුරක් දැරූ බව ද ලිපියේ සඳහන් වේ.

හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගේ ධූර කාලයේදී හඳුන්වාදුන් දෝෂ සහිත ඉන්ධන මිල සූත්‍රයක් සම්බන්ධයෙන් හිටපු විගණකාධිපතිවරයා නිසි විගණනයක් නොකළ බවට ද ඔහු චෝදනා කර තිබේ.

මෙම සූත්‍රයේ ප්‍රතිඵලයක් ලෙස ඉන්ධන මිල ඉහළ ගොස් පාරිභෝගිකයන් සූරාකෑමට ලක් වූ බවත්, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ද මෙම ගැටළු පිළිබඳ සොයාගැනීම් පාර්ලිමේන්තුවට සහ කෝප් කමිටුවට ඉදිරිපත් කර තිබුණද, හිටපු විගණකාධිපතිවරයා එම වාර්තාව ද යටපත් කර දෝෂ සහිත ඉන්ධන මිල තීරණවලට සහාය දුන් බවත් සංජීව ධම්මික චෝදනා කරයි.

එම විගණකාධිපතිවරයාගේ පාලන කාලය තුළ ජාතික විගණන කාර්යාලය ද විදුලි බලාගාර සඳහා තොග මිලට වඩා සිල්ලර මිලට ඉන්ධන මිලදී ගැනීම සම්බන්ධයෙන් නිසි විගණනයක් සිදුනොකළ බව ද ඔහු පෙන්වා දෙයි.

විගණකාධිපති දෙපාර්තමේන්තුවට යොමුකළ ලිපියේ මතු වූ තවත් කරුණක් වූයේ පෞද්ගලික සැපයුම්කරුවකු වන Ace Embilipitiya සමාගමෙන් වැඩි මිලට විදුලිය මිලදී ගැනීමයි.

මෙම ගැටලුව සම්බන්ධයෙන් මූලික විගණන වාර්තාවක් සකස් කරන ලද නමුත් හිටපු විගණකාධිපතිවරයා එය අත්සන් කිරීම වසර දෙකකට වැඩි කාලයක් ප්‍රමාද කළ බවට සංජීව ධම්මික සිය ලිපියේ දක්වා තිබේ.

මිල අධික ඩීසල් බලය වෙනුවෙන් අඩු වියදම් සූර්ය බලශක්තිය කපාහැරීම, රජයට පවරා ගැනීමට නියමිතව තිබූ පෞද්ගලික බලාගාර අනවසරයෙන් පැවරීම වැනි අක්‍රමිකතා කිහිපයක් ද සිදුවෙමින් පවතින බවත්, එවැනි ගැටළු පිළිබඳව ජාතික විගණන කාර්යාලය විගණනය කළ යුතු බවත් ඔහු පෙන්වා දී ඇත.