April 11, 2025

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ඇප ලබාදීමට ගත් තීරණය අභියෝගයට ලක්කරමින් මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන අයැදුම්පතක් ගොනුකිරීමට පියවර ගන්නා බව පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා තිබේ.

මාතර මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස විසින් දේශබන්දු තෙන්නකෝන්ට රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඊයේ ඇප නියම කළේය.

සැකකරු සාක්‍ෂිකරුවන්ට බාධානොකළ යුතු බවට තරයේ අවවාද කළ මහේස්ත්‍රාත්වරයා එවැනි ක්‍රියාවලින් ඇප අවලංගු වන බවට ද අනතුරු ඇඟවීය.

ඇප කොන්දේසිවලට අමතරව සැකකරුට විදේශ ගමන් තහනමක්ද පැනවූ අධිකරණය ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදෙන ලෙසද නියෝග කර තිබේ.

කෙසේවෙතත් සැකකරු ඇප මත මුදාහැරීමට දැඩි ලෙස විරුද්ධ වූ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා දැනට සිදුකෙරෙන පරීක්ෂණ තීරණාත්මක අවධියක පවතින බවත්, සැකකරු නිදහස් කිරීම විමර්ශන ක්‍රියාවලියට බරපතළ බාධාවක් විය හැකි බවත් අවධාරණය කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ තවමත් අවසන් වී නොමැති බවත්, නඩුව තීරණාත්මක අදියරකට පැමිණීමත් සමඟ සැකකරුට නැවත සමාජයට ඇතුළුවීමට ඉඩදීම එම ක්‍රියාවලියට තර්ජනයක් වන බවත් දිලීප පීරිස් තර්ක කළේය.

එය අභියෝගයට ලක්කිරීමට කඩිනමින් නීතිමය පියවර ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් ඇප නියෝගයේ සම්පූර්ණ වාර්තාව අධිකරණයට ලබාදෙන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

අප්‍රේල් 4 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාත් නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත් බවද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට අනාවරණය කළේය.

නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා තමන්ට එල්ල වූ ජීවිත තර්ජන හේතුවෙන් විශේෂ ආරක්ෂාවක් ඉල්ලා සිටීම විශේෂත්වයකි.

“මගේ නීති දිවියේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ආරක්ෂාව පතා ගිය පළමු අවස්ථාව මෙයයි. මෙය දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධ නඩුවේ බරපතළකම සහ සංවේදී බව පෙන්නුම් කරන්නක්,” අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පැවැසීය.