October 23, 2023

කේරළයේ කඩමක්කුඩිහි වාසය කළ සිව්දෙනකුගෙන් යුත් පවුලක සියදිවි නසාගැනීමේ සිද්ධියට ශ්‍රී ලංකාව පදනම් කරගත් අන්තර්ජාල ක්ෂණික ණය ලබාදීම්වලට සම්බන්ධ අපරාධ ජාලයක සබඳතා ඇති බවට එරට විමර්ශන නිලධාරීන් විසින් අනාවරණ කරගෙන තිබේ.

39 හැවිරිදි නිජෝ ජොනී, ඔහුගේ බිරිඳ 32 හැවිරිදි ශිල්පා සහ ඔවුන්ගේ දරුවන් වන 07හැවිරිදි එබෙල් සහ 05 හැවිරිදි එරෝන් සැප්තැම්බර් 12 වැනි දින සියදිවි නසාගෙන තිබිණි.

මියගිය අයගෙන් එක් අයකුගේ අසභ්‍ය පින්තූර ඥාතීන්ට යැවීමට භාවිත කළ අංකයක් පොලිසිය විසින් සොයාගැනීමත් සමඟ විමර්ශනය සැළකිව යුතු ප්‍රගතියක් අත්කරගෙන ඇත.

පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ ශිල්පා ඇතැම් අන්තර්ජාල ණය දෙන ආයතනවලින් ණය ලබාගෙන ඇති අතර ඇයට ඒවා ආපසු ගෙවීමට නොහැකිවී ඇති බවයි.

ඒ අනුව ඇයට සහ ඔවුන්ගේ ඥාතීන්ට අසභ්‍ය පණිවිඩ යැවීමට සමාගම් යොමු වී තිබෙන බවත් එම ජංගම දුරකථන අංකය සොයාබැලීමේදී එය ශ්‍රී ලංකාවේ බවත් විමර්ශන නිලධාරීන් සොයාගෙන ඇත.

එරට පොලිස් නිලධාරීන් සැකපළ කරන්නේ මෙම වංචාකරුවන් ශ්‍රී ලංකාවේ සිට ක්‍රියාත්මක වන්නට ඇති බවටයි.

මීට පෙර, ප්‍රවණතාව අනුව උතුරු ඉන්දියාව පදනම් කරගත් කල්ලිවල ක්‍රියාකලාපය පිළිබඳ එම නිලධාරීන් සැකකළ කර තිබුණද ඥාතීන්ට පණිවිඩ ලැබුණු WhatsApp අංකයේ විස්තර විමර්ශන වෙනත් අතකට හරවා තිබේ.

“ශ්‍රී ලංකාව පදනම් කරගත් ජාලවල සම්බන්ධය තහවුරු කිරීම සඳහා අපි ගැඹුරට සෙවිය යුතුයි. කෙසේවෙතත්, උතුරු ඉන්දියාව පදනම් කරගත් කල්ලිවල සම්බන්ධය බැහැර කිරීමට අපි සූදානම් නැහැ ”යැයි එරට පොලිස් නිලධාරියකු ප්‍රකාශ කළ බව ඉන්දීය ජනමාධ්‍ය වාර්තා පවසයි.

මේ අතර, පොලිසියට තවමත් ශිල්පාගේ ජංගම දුරකථනයේ අගුළු ඇරීමට නොහැකි වී ඇති අතර, එය විවෘත කරගත් පසු ගනුදෙනු කෙරෙහි වැඩි අවබෝධයක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

“අපට දත්ත වෙත ප්‍රවේශවීමට අවශ්‍ය බැවින්, අපි මුරපදය බිඳ දැමීමෙන් වැළකී සිටිනවා. අපි දුරකථනය අධිකරණ වෛද්‍ය විද්‍යාගාරයට භාර දී තිබෙනවා. නඩුව පිළිබඳ වැඩි පැහැදිලි කිරීමක් සඳහා අපි ඔවුන්වෙතින් වාර්තාවක් බලාපොරොත්තුවෙන් සිටිනවා,” යැයි ද පොලිසිය පවසා ඇත.

ක්ෂණික ණය ලබාදෙන චීන අන්තර්ජාල සමාගමකට ගොදුරු වීමෙන් කර්නාටකයේ 22 හැවිරිදි ඉංජිනේරු සිසුවකු ද මෑතකදී සියදිවි නසාගෙන තිබිණි.

42.31%
17.27%
32.76%