March 29, 2025

මන්නාරම සුළං විදුලි ව්‍යාපෘතියෙන් තමන් ඉවත් නොවන බවට ව්‍යාපාරික ගෞතම් අදානි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මාර්ගයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රම් සිංහට දැනුම් දී ඇතැයි ‘ඉරිදා මව්බිම’ වාර්තා කරයි.

එම වාර්තාවේ මෙසේ දැක්වේ.

‘හිටපු ජනාධිපතිවරයා පසුගිය කෙටි කාලය තුළ සිදු කළ ඉන්දීය සංචාර තුනකදීම මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ගෞතම් අදානි සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි සමඟ සාකච්ඡා කර ඇතැයිද දැන ගන්නට ලැබේ.

එහි ප්‍රතිඵලයක් වශයෙන් සුළං විදුලිබල ව්‍යාපෘතියෙන් ඉවත් නොවීමටත් යළිත් එම ව්‍යාපෘතියට අදාළ ඉදිරි පියවර ගැනීමටත් ගෞතම් අදානී මහතා සූදානමින් සිටින බව හිටපු ජනාධිපතිවරයාට සමීප ආරංචිමාර්ග සඳහන් කළේය.

අදානිගේ ව්‍යාපෘතිය මෙරටට ලබාගැනීම සඳහා හිටපු ජනාධිපතිවරයා තිරය පිටුපස සිට සැලකිය යුතු දායකත්වයක් ලබාදෙමින් ක්‍රියාකරන බවද එම ආරංචිමාර්ග කියා සිටී.

මේ අතර හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ කෘතියක් එළිදැක්වීමේ උත්සවයක් අමතමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේ සඳහන් කළේ වත්මන් ආණ්ඩුව අදානි ව්‍යාපෘතියට පනවා ඇති අහිතකර කොන්දේසි ඉවත් කර නැවත පැරැණි කොන්දේසි අනුව සුළං විදුලිබල ව්‍යාපෘතිය ආරම්භ කළ යුතු බවයි.

අහිතකර කොන්දේසි පැනවීමට ගියහොත් ආයෝජකයන් මේරට අතහැර යනු ඇතැයි පැවැසූ හිටපු ජනාධිපතිවරයා අදානි වැඩ සටහනට අදාළ ඇමරිකන් ඩොලර් සත 8.26ක අගය පිළිබද මිනුම් දණ්ඩ වෙනස් නොකළ යුතු බවද එහිදී පැවැසීය.

එහිදී ඔහු අවධාරණය කළේ අසල්වැසි ඉන්දියාව සහ ඉන්දුනීසියාව සමඟ එක්ව ආර්ථික ගනුදෙනු සිදුකළහොත් වසර 2060 වන විට ශ්‍රී ලංකාවට ඩොලර් ට්‍රිලියනයක ආර්ථිකයක් ගොඩනැගිය හැකි බවය.

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී මෙසේ පවසා ඇත.

“අද තියෙන අවදානම් තත්ත්වය අනුව කවුද අපිට උදවු කරන්න ඉන්නේ, කවුද ආයෝජන ගේන්න ඉන්නේ. අපිට ඉන්දියාවෙන් ඩොලර් බිලියන 4ක් තිබුණේ නැත්නම් මොකද වෙන්නේ අදානි සල්ලි දැම්ම නිසා අනිත් මිනිස්සුත් ඇවිල්ලා සල්ලි දුන්නා. එවිට සංවර්ධනය සිදුකළ හැකි වෙනවා. මේ මුදල් අපි අතට ගන්න ඕනෑ, එවිට අවදානම් තත්ත්වයෙන් ඉවත්වීමට පෙර අපිට ආයෝජන ලැබේවි. ඒවා නැතිකර ගන්න හොඳ නෑ. ඉන්දියාව අපේ මිත්‍රයෙක්. ඕන එකකදී ඉන්නවා. මම දිල්ලි ගිය වේලේ සමහරුන් ඇහුවා අපි ඉන්දියාවට විරුද්ධද කියලා. ඒ මතය අපි දෙන්න හොඳ නෑ, අපේ අල්ලපු රට ඉන්දියාව. අපේ අල්ලපු රට ඇමරිකාවටත් විනයවත් – ප්ලානයවත් නෙමෙයි.

අපි ඉන්දියාව ප්‍රතික්ෂේප කරන්න ගියොත් අපිට දියුණු වෙන්න බෑ. 2050දී අපි දුප්පත් වෙන්න ඉන්නේ, එහෙම වුණොත් අපේ රට හැමදාම දුප්පත්, අපිට ඉන්දියාව සමඟ යන්න තියෙන්නේ. වෙන කවුරු එක්ක එල්ලෙන්නද? රුසියාව, ඇමරිකාව අපි ළඟ නැහැ. අසල්වැසි රටවල් සමඟ එල්ලිලා ගිහින්, අනිත් රටවල් එක්කත් ගනුදෙනු කරලා අපි දියුණු වෙන්න ඕන. මේකයි අපිට යන්න තියෙන පාර.” ‘