January 23, 2025

ලංකා සතොස ආයතනයේ ඉහළම නිලධාරියෙක් විසින් වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව සහල් ටෙන්ඩර්වලදී සිදුකරන ලද බව කියන වංචාකාරී ක්‍රියා සම්බන්ධව එහි සේවකයන් විසින් හෙළිදරව්වක් සිදුකර තිබේ.

සේවකයන් චෝදනා කරන්නේ මිලදී ගැනුම් අංශයේ කිසිවකුත් සහභාගී කර නොගෙන ඔහු විසින් සහල් ටෙන්ඩර්වලට අදාළ සියලුම ලිපි සකස් කිරීම ආදී සියලු කටයුතු පෞද්ගලිකවම සිදුකරන බවයි.

ඔහු විසින් සිදුකරන ලද සහල් මිලදී ගැනීමේ තරගකාරී ටෙන්ඩර් සියල්ල ඔහු විසින්ම විවිධ හේතු දක්වමින් ප්‍රතික්ෂේප කිරීම මගින් ලංකා සතොස ආයතනයට සහල් මිලදී ගැනීම මොහු විසින්ම වළක්වන ලද බව ද සේවකයන් පෙන්වා දී තිබේ.

ඔහු විසින් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී-විගණන (DGM- Audit) ලෙස සකස් කරන ලද අසත්‍ය විගණන වාර්තා යොදාගෙන මිලදී ගැනීම් අංශයේ සිටි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරියව (DGM Procurement) එම තනතුරේ සේවයෙන් ඉවත්කර, කිසිදු නීත්‍යනුකූල පත්කිරීමේ ලිපියක් නොමැතිව මිලදී ගැනීම් අංශයේ වැඩ කටයුතුවලට ද මැදිහත් වී සියලු මිලදී ගැනීම් ඔහුගේ තනි මතයට සිදුකරන බවට ද සේවකයන් චෝදනා නගා තිබේ.

මෙම ඉහළ නිලධාරීයා සහල් මිලදී ගැනීමේ ක්‍රියාවලිය මුල සිටම තම අණසකට යටත් කරගෙන අත්තනෝමතික ලෙස මිලදී ගැනීම් අංශයේ නිලධාරීන්ට ද බලපෑම් සිදුකර ඇතැයි පැවසේ.

ඔහු විසින් හදිසි සහල් මිල දී ගැනීම් සඳහා ටෙන්ඩර් නොදමා සහල් මෝල් හිමියන්ට පෞද්ගලිකව කතාකර සහල් ගබඩාවලට ගෙන එන ලෙස දැනුම් දී ඇති බවත්, ඒ යටතේ තරගකාරී වෙළඳ පොළෙන් සහල් මිලදී ගැනීම් සිදුනොකර අත යට ගනුදෙනු සිදුකරමින් මූල්‍ය වංචා සිදු කර ඇතැයි ද චෝදනා එල්ල වී තිබේ.

එසේ ටෙන්ඩර් නොමැතිව ගෙන එන ලද සහල්, මිලදී ගැනීමේ ඇණවුමක් (Purchase Order) නොමැතිව රාත්‍රී කාලයේ ගබඩාවලට භාරගැනීම ප්‍රතික්ෂේප කරන ලද නිලධාරීන්ට ඒවා බාරගන්නා ලෙස බැනවදිමින් වැරදි උපදෙස් ලබාදී ඒවා භාරගැනීමට අණකර ඇතැයි ද සේවකයෝ චෝදනා කරති.

එසේ භාරගන්නා ලද සහල් වෙළඳසැල් වෙත විකිණීම සදහා පිටතට යැවීමේ දී මිලදී ගැනීමේ ඇණවුම නොමැති නිසා ගබඩාවලට සහල් ලැබීම් සහ පිටතට යැවීම් පිළිබඳ නිසි වාර්තා නොමැතිවීම හේතුවෙන් වංචා කිරීමට පහසු වී ඇතැයි ද සේවකයෝ චෝදනා කරති.

සේවකයන් වැඩිදුරටත් පවසන්නේ, ටෙන්ඩර් නොමැතිව හිතවත් සහල් මෝල් හිමිකරුවන්ගෙන් ලබාගත් සහල් සඳහා පසුව ටෙන්ඩර් මණ්ඩලය වෙත ටෙන්ඩර් පත්‍රිකා යොමුකිරීම නිසා ගබඩාවේ තිබෙන සහල්වලට ටෙන්ඩර් මගින් ගෙවීමට නොහැකි බව ප්‍රකාශ කරමින් ටෙන්ඩර් මණ්ඩලය විසින් ටෙන්ඩර් පත්‍රිකා ප්‍රතික්ෂේප කරන ලද බවයි.

මොහු විසින් මෙම සියලු මිලදීගැනීම් තම අණසකට යටත් කර ගැනීම සඳහා අසත්‍ය වාර්තා සකස් කර තවත් නිලධාරියකු සේවයෙන් සේවයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බවට ද සේවකයෝ චෝදනා කරති.

ඔහුගේ අනීතික උපදෙස්වලට අනුව කටයුතු කරන ලද වෘත්තීය සමිති නායකයන් ලෙස කටයුතු කරන ගබඩා භාරකරුවන්ට උසස් වීම් ලබාදෙන ලෙස ඔහු ආයතනයේ නිලධාරීන්ට වාචිකව උපදෙස් දී ඇති බව ද පැවැසේ.

ඒ අනුව ලංකා සතොස සේවකයන් රජයෙන් ඉල්ලා සිටින්නේ වහාම මෙම පුද්ගලයා ආයතනයෙන් ඉවත්කර අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් අපක්ෂපාති පරීක්ෂණයක් පවත්වා නිසි දඬුවම් ලබාදෙන ලෙසයි.

42.31%
17.27%
32.76%