August 29, 2024

රජයේ රෝහල්වලට ඖෂධ සැපයීමේ වගකීම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් ඉවත් කර ඉන්දියානු සමාගමකට ලබාදීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදරිපත් කර තිබෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි.

ඔහු පවසන්නේ ඊට අමතරව අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 37ක් ටෙන්ඩර් කැඳවීමකින් තොරව හදිසි මිලදී ගැනීම් ලෙස ඉන්දියානු සමාගමකින් මිලදී ගැනීමේ සූදානමක් ද පවතින බවයි.

හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල අද රක්ෂිත බන්ධනාගාර ගතව සිටින්නේද හදිසි මිලදී ගැනීම් මුවාවෙන් සිදු වූ වංචනික ක්‍රියා හේතුවෙන් බව ද ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් පුබුදු ජයගොඩ සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හදිසි මිලදී ගැනීම් මෙසේ පැවසීය.

“ජනාධිපතිවරණ ප්‍රචාරක සංදර්ශනයකින් ජනතාවගේ ඇස් නිලංකාර කරලා ජනතාවගේ අයිතීන් එකින් එක ආණ්ඩුව විසින් උදුරා ගනිමින් සිටිනවා.
මේ සඳහා ළඟම උදාහරණය වන්නේ ලංකාවේ රජයේ රෝහල්වල ඖෂධ සැපයුම ඉන්දියානු සමාගමකට පවරන්න ගත් කැබිනට් තීරණය. මගේ ළඟ කැබිනට් පත්‍රිකා දෙකක් තියෙනවා. දෙකම ඉදිරිපත්කර තිබෙන්නේ වර්තමාන සෞඛ්‍ය ඇමැති රමේෂ් පතිරණ. එකක් 2024 අගෝස්තු 13 වැනිදා. මේකේ තියෙන විදියට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 37ක් ටෙන්ඩර් කැඳවීමකින් තොරව හදිසි මිලදී ගැනීම් ලෙස ඉන්දියානු සමාගමකින් මිලදී ගන්න යනවා. මීට පෙරත් සියලු වංචා දූෂණ සිදුවුණේ හදිසි මිලදී ගැනීම්වල නාමයෙන්. අද හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය හිරේ ඉන්නෙත් හදිසි මිලදී ගැනීම් කියලා කළ වංචනික වැඩවලට චෝදනා ලබලා. සෞඛ්‍ය ඇමැති රමේෂ් පතිරණ කියන්නේ ඖෂධ හිඟයක් තියෙනවා, ලංසු තැබීමට සමාගම් ඉදිරිපත් වුණේ නෑ කියලා. සියවසක් පමණ කාලයක් තිස්සේ නොතිබුණු ප්‍රශ්නයක් එක පාරටම මේ අවුරුද්දේ ආවේ කොහොමද? කෙහෙළියත් ඒ දවස්වල අපි කළ චෝදනාවලට උත්තර විදියට ඔහොම කතා කිව්වා. අද අධිකරණයේ ඔප්පු වෙමින් තියෙනවා අපි කිව්වා කරුණු හරි කියලා. ලංකාවේ ප්‍රසම්පාදන නීතියට අනුව මිලදී ගැනීම්වල මූලධර්ම දෙකක් තියෙනවා. එකක් තරඟකාරී මිල ගණන් කැඳවීම, අනෙක අවම මිල ඉදිරිපත් කරන්නාට ටෙන්ඩරය ලබා දීම. මේ මූලධර්ම දෙකම උල්ලංඝනය කරන්න යන්නේ.”

“දෙවැනි කැබිනට් මණ්ඩල පත්‍රිකාව වඩාත් භයානකයි. 2024 අගෝස්තු 15 ඉදිරිපත්වූ මෙම කැබිනට් පත්‍රිකාවට අනුව රජයේ රෝහල්වලට ඖෂධ සැපයීමේ වගකීම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් ඉවත්කර ඉන්දියානු සමාගමකට ලබා දෙනවා. රජයේ රෝහල්වලට ඖෂධ වර්ග 862ක් අවශ්‍ය වෙනවා. ඒවායෙන් 214ක් රෝගියාටම විශේෂ ඖෂධ, ප්‍රවර්ධන ඖෂධ ආදිය. ඒ හැරුනාම නිතර අවශ්‍ය ඖෂධ වර්ග 648ක් තිබෙනවා. ඒවායෙන් වර්ග 14ක් ජීවිතාරක්ෂක ඖෂධ. 474ක් අත්‍යවශ්‍ය ඖෂධ. 160ක් එතරම් අත්‍යවශ්‍ය නොවන නමුත් භාවිත වන ඖෂධ. මේවා දැනට රජයේ රෝහල්වලට සපයන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය. එයට ඖෂධ සැපයීම ප්‍රධාන වශයෙන්ම කරන්නේ රාජ්‍ය ඖෂධ නීතිගතස් සංස්ථාව. දැනට රජයේ රෝහල්වල තිබෙන ඖෂධවලින් 90%ක්ම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් සපයන ඒවා. මේ අලුත් තීරණයත් සමග රාජ්‍ය ඖෂධ සංස්ථාව ස්වාභාවික මරණයකට ලක් කරන්න යන්නේ. අඩ සියවසකටත් අධික කාලයක් 1971 සැප්තැම්බරයේ සිට ඖෂධ සංස්ථාව මේ වගකීම ඉටු කළානම් අනාගතයේදී ඒක කරන්න බැරි වෙන්න හේතුවක් නෑ. ඖෂධ සංස්ථාව පටන් ගත්තේ මහාචාර්ය සේනක බිබිලේ. ලංකාවේ ජනතාව ඖෂධ සමාගම් මාෆියාවෙන් බේරා ගැනීමට ඔහු කළ වැඩකොටස නිසා ඖෂධ මාෆියාව ඔහුව මරා දැමුවා. දැන් ඔහු නිර්මාණය කළ ඖෂධ සංස්ථාවත් මරා දමලා ලංකාවේ ජනතාව මාෆියාවකට ගොදුරු කරන්න යන්නේ.”

“මෙතන ප්‍රශ්න ගණනාවක් තියෙනවා. එකක් සෞඛ්‍ය ඇමැතිම කියන විදියට 2024 අප්‍රේල් 12 වැනිදා ඉන්දියානු මහ කොමසාරිස් තමයි යෝජනා කරලා තියෙන්නේ හිල් ලයිෆ්කෙයාර් සමාගමට රජයේ රෝහල්වල ඖෂධ සැපයුම බාර දෙන්න. ලංකාවේ ඉන්දියාවේ යටත් විජිතයක්වත්, ඉන්දියාවේ ප්‍රාන්තයක්වත් නෙවෙයි. ලංකාවේ රෝහල්වල දෙන බෙහෙත් ගැන ඒ ගොල්ලෝ කොහොමද තීරණ ගන්නේ? රටක ඖෂධ සැපයුමේ ඒකාධිකාරය වෙනත් රටක් සතුවීම දේශපාලන ස්වාධිපත්‍යයටත් තර්ජනයක්. ඒ වගේම මේ කැබිනට් පත්‍රිකාවේ තියෙන විදියට ඖෂධ නියාමන අධිකාරියේ නියාමන සහ ප්‍රමිතිය සහතික කිරීමේ ක්‍රමවේද මගහැරලා මේ ඖෂධ සැපයුම සිදුවෙන්නේ. ඉන්දියාවේ තියෙන කුණු ගොඩවල් මෙහේ ගොඩබාන එක වළක්වන්නේ කොහොමද? වෙන කුණුනම් කමක් නෑ, මේ ගේන්නේ බාල බෙහෙත්. පසුගිය වසරේ ඖෂධ වර්ග 115ක් ප්‍රමිතියෙන් තොරයි කියලා රජයේ රසායනාගාරය ඔප්පු කරලා රෝහල්වලින් ඉවත් කළා. එයින් ඖෂධ වර්ග 65ක්ම ඉන්දියාවෙන් ගෙන්වූ ඒවා. නැවත වරක් බාල බෙහෙත් දීලා ජනතාව මරන්න යන්නේ. ඉන්දියානු සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ ඖෂධ ප්‍රමිතියෙන් යුතුයි කියනවානම් ඒක පිළිගනිමු කියලා රමේෂ් පතිරණ කියන්නේ. ලංකාවේ සෞඛ්‍ය ඇමැති ඉන්දියාවේ සෞඛ්‍ය ඇමැතිගේ ලේකම් හෝ කාර්යාල කාර්ය සහායක නෙවෙයිනේ. ලංකාවට ගෙන්වන ඖෂධවල ප්‍රමිතියට ලංකාවේ රජය වග කියන්න ඕන. අනෙක ප්‍රමිතිය පරීක්ෂා නොකර ඖෂධ ගෙන්වන්න අනෙක් රටවල සමාගම්වලටත් දෙනවාද? ඇයි ඉන්දියාවට විතරක් විශේෂයක්. අඩුම ගානේ ලංකාවේ ඖෂධ නිෂ්පාදකයන්ටවත් එහෙම විශේෂයක් නෑනේ. ඒ වගේම ඉන්දියානු රජයේ ඖෂධී යෝජනා ක්‍රමය සහ මේ හිල් ලයිෆ්කෙයාර් සමාගම අතර සම්බන්ධය මොකක්ද? අන්තර්ජාලයට ගිහින් මේ සමාගම ගැන හෙව්වාම ඒක ඖෂධ නිෂ්පාදන සමාගමක් කියලාවත් නෑ. ඔසප් ආරක්ෂක උපකරණ සහ උපත්පාලන කොපු හදනවා කියලා විතරයි දන්නේ. මේක ලොකු ජාවාරමක් වෙන්න පුළුවන්. කෙහෙළිය හිරේ වැටුණු හියුමන් ඉමියුනොගොබියුලින් ප්‍රශ්නයේදී ඒ බෙහෙත ඉන්දියානු සමාගමකින් ගෙන්වනවා කියලා, ඉන්දියාවේ සුදුලූණුවලින් ආයුර්වේද බෙහෙත් හදන සමාගමක නමක් කියලා සීදුවේ බෙහෙත හදලා තිබුණේ. හිල් ලයිෆ්කෙයාර් සමාගම කියලා නමක් පෙන්වලා ලංකාවේ ජාවාරම්කාරයෙක් ගේමක් ගහනවද කියලත් හොයන්න ඕන.”

“මේ කැබිනට් තීරණය විසින් රටේ මහජන සෞඛ්‍යය, ජනතාවගේ ජීවිත ආරක්ෂාව සහ ජාතික ආරක්ෂාව අවදානමට ලක් වෙනවා. රටේ දේශපාලන ස්වාධිපත්‍යයත් අනතුරේ වැටෙනවා. මේ වගේ ජනතා විරෝධී ක්‍රියාවන් අරගල බිමේදී පරාජය කරන්න ජනතාව පෙළ ගැසෙන්න ඕන. මැතිවරණ සටන් බිමේදී සෞඛ්‍ය සේවය පෞද්ගලීකරණයට එරෙහි, සේනක බිබිලේ ප්‍රතිපත්තිය මත සිය සෞඛ්‍ය ප්‍රතිපත්තිය නිර්මාණය කරගත් ජන අරගල සන්ධානයේ නුවන් බෝපගේ සහෝදරයා ඉදිරියේ ඡන්දය සලකුණු කරමු. සෞඛ්‍ය සේවය පෞද්ගලීකරණය කරලා, පස්සේ ඒක නියාමනය කරමු කියන අයට ඡන්දය දුන්නොත් අනුමත කරන්නේ මේ ජනතා විරෝධී ක්‍රියාමාර්ග.”