November 2, 2024

ක්ෂුද්‍ර මූල්‍ය ණය ගත් කාන්තාවට තවමත් සාධාරණයක් ඉටු වී නොමැති බවත් ඩොලර් මිලියන 85ක් වැනි එම සමස්ත ණය කපා හැරිය යුතු බවත් ජන අරගල සන්ධානය පවසයි.

ක්ෂුද්‍ර මූල්‍ය ණය වින්දිතයන් පිළිබඳ සහ මෙවර මැතිවරණය තුළ කාන්තා නියෝජනය සම්බන්ධයෙන් අදහස් දැක්වීම වෙනුවෙන් එම සන්ධානය නුගේගොඩ දී අද(02) පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ජන අරගල සන්ධානයේ බදුල්ල දිස්ත්‍රික් කණ්ඩායම් නායිකා නිරෝෂා ගුරුගේ මේ බව සඳහන් කළාය.

ඇය පෙන්වා දුන්නේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ගෙවාගැනීමට නොහැකිව පසුගිය සමයේ ඇතැම් කාන්තාවන් සියදිවි හානි කරගත් බවයි.

එහිදී අදහස් දක්වමින් නිරෝෂා ගුරුගේ සඳහන් කළේ “අපි පහුගිය කාලේ පුරාම ක්ෂුද්‍ර මූල්‍ය ණය ප්‍රශ්නය සම්බන්ධයෙන් ලොකු අරගලයක් කළා. අපේ ඉල්ලීම වුණේ මේ ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදයට එකම විසඳුම විදිහට මේ ණය කපාහරින්න කියලා. හැබැයි තවමත් ක්ෂුද්‍ර මූල්‍ය ණය ගත් කාන්තාවට සාධාරණයක් ඉටු වෙලා නෑ. අද වෙද්දි වින්දිත කාන්තාවෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඔවුන් මේ ණය හින්දා නඩුවල පැටලිලා පීඩා විඳිනවා. සමහරු තමන්ගේ ඉඩම් ගෙවල් කුඹුරු පවා උකස් කරලා තියෙන්නෙ ණය ගෙවාගන්න බැරුව. අපි කියනවා මේ ප්‍රශ්නයට එකම උත්තරයයි තියෙන්නෙ, ඒ තමයි ක්ෂුද්‍ර මූල්‍ය ණය අහෝසි කිරීම,” යනුවෙනි.

“ක්ෂුද්‍ර මූල්‍ය ණය ඩොලර් මිලියන 85ක් වගේ පොඩි ප්‍රමාණයක් තමයි තියෙන්නෙ. වින්දිත කාන්තාවන් වෙනුවෙන් මේ ණය අහෝසි කලා කියලා රජයට කිසිම පාඩුවක් වෙන්නෙ නෑ. ඩොලර් බිලියන ගණං කෝටිපති ව්‍යාපාරිකයෝ බදු පැහැර හැරලා තියනවා. නීතිවිරෝධී ඉන්වොයිසකරණය හරහා බිලියන ගණං මුදල් වංචනික විදිහට රට පටවල තියනවා. ඇයි රජයට බැරි මේ මහාපරිමාණ සමාගම්වලින් බදු අයකරගන්න. අපි දන්නවා මේ ක්ෂුද්‍ර මූල්‍ය ණය කියන්නෙ බලහත්කාරයෙන් ජනතාව මත පටවපු පීඩාවක්. අදටත් ණය දීපු සමාගම් වින්දිත කාන්තාවන් හූරගෙන කනවා.” යැයි ද ඇය සඳහන් කළාය.

වතුකරයේ කාන්තාවන් සහ මැදපෙරදිග සේවය කරන අයගෙන් 46%ක් වන කාන්තාවන් වාර්ෂිකව රටට උපයාදෙන මුදල සුළුපටු නොවන බව ද ඇය පෙන්වා දුන්නාය.

“මේ අලුත් ආණ්ඩුව පත් කරගන්න කාන්තාවෝ විශාල වශයෙන් ඡන්දය භාවිත කළා. ඒ කාන්තාවෝ බලාපොරොත්තු වෙන්නෙමේ පීඩාකාරී ආර්ථික ක්‍රමයට විසඳුමක්. ඔවුන් බලාපොරොත්තු වෙන්නේ තමන්ව කාන්තාවෝ විදිහට පීඩනයට පත්කරන ක්‍රමයට එරෙහිව විසඳුමක්. ඔවුන් බලාපොරොත්තු වුණා ක්ෂුද්‍ර මූල්‍ය ණය ප්‍රශ්නයට විසඳුමක්. අපි ජන අරගල සන්ධානය විදිහට දිගින් දිගටම කිව්වෙ ක්ෂුද්‍ර මූල්‍ය ණය අහෝසි වෙන්න ඕන කියලා. හැබැයි මේ ආණ්ඩුව තවමත් ක්ෂුද්‍ර මූල්‍ය ණය සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ගය ගැන නිශ්චිත අදහසක් කියලා නෑ. අපි ආණ්ඩුවට කියනවා මේ රටේ කාන්තාවෝ ඔබ වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළේ රැඩිකල් වෙනසක් බලාපොරොත්තුවෙන්. ඒක නිසා ආණ්ඩුවට පුළුවන් මේ ණය අහෝසි කරනවා කියන රැඩිකල් තීරණය ගන්න. ඒවගේම තමයි අපි කාන්තාවන්ටත් කියනවා ආණ්ඩුවට මේ ප්‍රශ්නයට උත්තර දෙන්න වෙන තැනට අභියෝග කරන්න නම් ශක්තිමත් බලයක් අපිට අවශ්‍යයි. ඒ බලය අපි නිර්මාණය කරන්න මැදිහත් වෙමු” යැයි ද නිරෝෂා ගුරුගේ වැඩිදුරටත් සඳහන් කළාය.

 

42.31%
17.27%
32.76%