August 11, 2024

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර නැරඹීම සඳහා ක්වීන්ස් හෝටල් කොරිඩෝවේ අසුන් ගැනීමට ඉඩ දීමෙන් පදිකයන්ගේ මාර්ග අයිතියට බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.

ක්වීන්ස් හෝටල් කොරිඩෝව ආසන සඳහා ලබා දෙන ලෙස නාගරික මන්ත්‍රීවරුන් 2019 වසරේ මහනුවර මහ නගර සභාවෙන් අවසර ඉල්ලා සිටි අවස්ථාවේදී එවක සිටි නගරාධිපති කේසර සේනානායක එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

1963 දී මෙම කොරිඩෝව සහ එහි ඉහළ කොටස මහජනතාවගේ ප්‍රයෝජනය සඳහා මාර්ගයක් ලෙස මහනුවර මහ නගර සභාවට පවරා දී තිබේ.

දිවංගත නගරාධිපති ඩී ඊ පතිරණ විසින් කොරිඩෝව මහනුවර මහ නගර සභාවට අයත් බව දැක්වෙන සමරු ඵලකය විවෘත කර තිබිණි.

සමරු ඵලකය විනාශ වී ගොස් තිබුණ ද කොරිඩෝව මහජනතාව සඳහා මාර්ගයක් වී තිබිණි.

මේ අතර, ක්වීන්ස් හෝටල් කොරිඩෝවේ ආසන පහසුකම් සඳහා මහනුවර මහ නගර සභාවට රුපියල් ලක්ෂ අනූ එකක ටෙන්ඩරයක් ලැබී ඇතැයි දැනගන්නට ඇත.

පොදු දේපළ සුරැකීමේ සංවිධානය මේ සඳහා අධිකරණමය පිළියමක් අපේක්ෂා කරන බව එහි සභාපති අනුර ගෝනවල මහතා පවසයි.

දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල පැවසුවේ පෙරහැර නැරඹීම සඳහා අධික මිලට ආසන අලෙවි කරනු දක්නට ලැබෙන බවයි.

ඇතැම් විදේශිකයන් සිතා සිටින්නේ මාලිගාවේ බලධාරීන් පෙරහැරට ආසන විකුණන බවය.

වාර්ෂික ඇසළ පෙරහැර පවත්වනු ලබන්නේ මාලිගාවේ සහ දේවාලයේ අරමුදල්වලින් වන අතර එහිදී ප්‍රජාවට අවශ්‍ය සේවාවන් රජය වෙනුවෙන් දිස්ත්‍රික් ලේකම් විසින් සංවිධාන කරනු ලැබේ.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයයේ පළමු කුඹල් පෙරහැර ඊයේ වීදි සංචාරය කළ අතර ලබන 19 වැනිදා දක්වා පෙරහැර පැවැත්වේ.

 

 

42.31%
17.27%
32.76%