April 3, 2024

ශ්‍රී ලංකාව තුළ ව්‍යාජ වෛද්‍යවරුන් සහ ව්‍යාජ වෛද්‍ය මධ්‍යස්ථාන පිළිබඳ ලැබී ඇති පැමිණිලි රාශියක් සැළකිල්ලට ගනිමින්, පෞද්ගලික වෛද්‍ය ප්‍රතිකාර දැඩි ලෙස විමර්ශනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසන්නේ පෞද්ගලික වෛද්‍ය ප්‍රතිකාර සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි පිළිබඳ මනා අධ්‍යයනයකින් පසුව මෙම නීතිවිරෝධී වෛද්‍ය ක්‍රම තුරන් කිරීමට තීරණය කළ බවයි.

“පෞද්ගලික සෞඛ්‍ය නියාමන සභාවේදී මේ පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡා කළා. පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදී සිටින සියලුම පුද්ගලයන්ට ලියාපදිංචි වන ලෙස දැනුම් දී මූලිකත්වය ගන්නා ලෙස එහිදී සියලුම පළාත් අධ්‍යක්ෂවරුන්ට දැනුම්දුන්නා ,” යනුවෙන් ඔහු ප්‍රකාශකර ඇත.

“ඒ නිසා සියලුම පෞද්ගලික වෛද්‍යවරුන් සහ රසායනාගාර ඇතුළු වෛද්‍ය මධ්‍යස්ථාන පළාත් මට්ටමින් ලියාපදිංචි වීම අනිවාර්යයි,” යැයි ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පෙන්වා දුන්නේය.

තවද, නීති විරෝධී වෛද්‍ය ක්‍රම සෞඛ්‍ය ක්ෂේත්‍රයට පරපෝෂිතයකු බවට පත්ව ඇති බැවින්, මෙමගින් ධනාත්මක ප්‍රතිචාර ලැබෙනු ඇති බව ද වෛද්‍ය ගුණවර්ධන පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යංශය මගින් දැඩි ක්‍රියාමාර්ගයක් ගතයුතු බව අවධාරණය කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෑතකදී ශ්‍රී ලංකාවේ ව්‍යාජ වෛද්‍යවරුන්ගේ ජාවාරම පිළිබඳ බරපතළ කණගාටුව ප්‍රකාශකර තිබිණි.

ශ්‍රී ලංකාව තුළ වෛද්‍ය ක්‍රම නියාමනය සිදුවන අතර ශ්‍රී ලංකා වෛද්‍ය සභාව, ආයුර්වේද වෛද්‍ය සභාව, හෝ හෝමියෝපති වෛද්‍ය සභාව යන ආයතනවල වලංගු ලියාපදිංචියක් මෙන්ම අවශ්‍ය සුදුසුකම් සපුරා තිබීම ද අවශ්‍ය වේ.

වාර්තාවලට අනුව, මූලික වෛද්‍ය සුදුසුකම් නොමැති අය, අනවසර වෛද්‍ය ක්‍රමවල නිරත වීම සහ නීත්‍යනුකූල සෞඛ්‍ය සේවා වෘත්තිකයන් ලෙස පෙනී සිටීම ඇතුළු ක්‍රියාවල නිරත වේ.

එවැනි පුද්ගලයන් 40,000කට වැඩි සංඛ්‍යාවක් නීතිමය හිඩැස් ඔස්සේ ගැටලුවකින් තොරව රටපුරා ක්‍රියාත්මක වන බව සමීක්ෂණ මගින් ද හෙළි වී තිබිණි.

42.31%
17.27%
32.76%