September 5, 2024

ළමා මන්දපෝෂණ ප්‍රශ්නය උග්‍ර වන්නේ දැයි සොයා බැලීමටත් කෙටි, මධ්‍ය හා දිගු කාලීන ප්‍රතිකර්ම හඳුනාගෙන කඩිනමින් ක්‍රියාත්මක කිරීමටත් පත්කෙරුණු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් ප්‍රධාන පෙළේ ළමා ආහාර ද්‍රව්‍ය පිළිබඳ වෙළඳ දැන්වීම් නියාමනය කිරීමට යෝජනා කර තිබේ.

කමිටුවේ නිගමන ඊයේ (4) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සමගි ජන බලවේගයේ විපක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කුමාරි විජේරත්න කවිරත්න මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයට වැඩිම හානියක් සිදුව ඇති ප්‍රදේශය බව පෙන්වා දෙමින් එහි බරපතළකම අවධාරණය කළාය.

“තත්ත්වය භයානකයි, කමිටුව විසින් කරන ලද සොයාගැනීම් සහ නිර්දේශවල බරපතළකම නොසළකා හැරිය යුතු නැහැ.වහා ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍යයි” යනුවෙන් ඇය ප්‍රකාශ කළාය.

කවිරත්න සඳහන් කළේ ළමා මන්දපෝෂණය ඉහළ යෑමට බලපාන සුවිශේෂී සාධකයක් ලෙස හඳුනාගෙන ඇති ළමා ආහාර ද්‍රව්‍ය සඳහා වෙළෙඳ දැන්වීම් නියාමනය කිරීම එක් ප්‍රධාන යෝජනාවකට ඇතුළත් බවයි.

මෙම යෝජනාව ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා පුළුල් වැඩපිළිවෙළක් දියත් කරන ලෙස ඉල්ලා සිටි ඇය කෙටිකාලීන විසඳුමක් ලෙස සමබර ආහාර වැඩසටහනක අවශ්‍යතාව වෙනුවෙන් ද පෙනී සිටියාය.

මීට අමතරව, ළමා මන්දපෝෂණය ආමන්ත්‍රණය කිරීම අරමුණු කරගත් ප්‍රතිපත්ති ඔවුන්ගේ වේදිකාවට එක්කර ගන්නා ලෙස ඇය සියලුම ජනාධිපති අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටියාය.

ඊට ප්‍රතිචාර දක්වමින් අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කළේ දැනට පවතින පාසල් ආහාර වැඩසටහන පුළුල් කිරීම පිළිබඳ අවධානය යොමුව ඇති බවයි.

“දැනට ක්‍රියාත්මක වන වැඩසටහනට 6 සිට 8 ශ්‍රේණි දක්වා සිසුන් ඇතුළත් කිරීමටත් පෙර පාසල් දරුවන්ට ආහාර ලබාදීමටත් අපි අයවැය යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා,” යනුවෙන් ඔහු පැවසීය.

විවිධ වයස් කාණ්ඩවල සිසුන් මුහුණ දෙන පෝෂණ අභියෝග කිහිපයක් සමනය කිරීම එහි අරමුණ වී තිබේ.

කමිටු වාර්තාව මෙම හදිසි නිර්දේශ ගෙනහැර දක්වන අතර ශ්‍රී ලංකාවේ වර්ධනය වන ළමා මන්දපෝෂණය පිළිබඳ ගැටලුවට එරෙහිව සටන් කිරීම සඳහා කඩිනම් සහ තිරසාර ක්‍රියාමාර්ගයක අවශ්‍යතාව ද අවධාරණය කරයි.