February 17, 2024

13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පළාත්වලට පවරා ඇති පොලිස් බලතල ඉවත් කරන ලෙස සඳහන් කරමින්, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ‘22 වැනි සංශෝධනය’ සිදුකරන ලෙස ඉල්ලා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සැලසුම් කර ඇත.

පොලිස් බලතල පළාත් සභාවලට පැවරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව මන්ත්‍රී ගම්මන්පිල ජනමාධ්‍යවේදීන් හමුවේ පැවැසීය.

“ඉදිරියේදී බෙදුම්වාදී යුද්ධයක් ඇති වුණොත් ඒ යුද්ධය උතුරේ පළාත් පොලිසිය සහ ශ්‍රී ලංකා යුද හමුදාව අතර සිදුවෙයි. එතකොට දෙකම නිල හමුදා වේවි” යැයි මන්ත්‍රීවරයා අනතුරු අඟවයි.

එවැනි තත්වයකදී ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියා කරන රටවලට විවෘතව, පැකිළීමකින් තොරව, එම බෙදුම්වාදී සන්නද්ධ ව්‍යාපාරයට හෝ වෙනත් වචන වලින් කිවහොත්, උතුරු පොලිස් හමුදාවට ආධාර සැපයිය හැකි බව ඔහු පවසයි.

තම යෝජනාවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් ලබාගත හැකිදැයි ඇසූ විට මන්ත්‍රී ගම්මන්පිල කියාසිටියේ, එය පාර්ලිමේන්තුවේ අධිෂ්ඨානය උරගා බලන බවයි.

“පොලිස් බලතල ඉවත් කිරීම මුළු රටම ඉල්ලන දෙයක්. එය පැවතිය යුතු යැයි විශ්වාස කරන්නේ දෙමළ බෙදුම්වාදීන් පමණයි. 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට දේශප්‍රේමීන් වැඩිද, බෙදුම්වාදීන් වැඩිද යන්න පරීක්‍ෂණයක් වේවි,” යැයි ඔහු වැඩිදුරටත් පැවැසීය.

42.31%
17.27%
32.76%