December 18, 2023

2024 වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ධනාත්මක වනු ඇතැයි අපේක්ෂා කරන බව ආර්ථික විශේෂඥ සහ රජයේ උපදේශක ආචාර්ය ශාන්ත දේවරාජන් පවසයි.

ඔහු වොෂින්ටනයේ ජෝර්ජ්ටවුන් විශ්ව වද්‍යාලයේ එඩ්මන්ඩ් ඒ වෝල්ෂ් විදේශ සේවා පාසලේ අන්තර්ජාතික සංවර්ධනය පිළිබඳ ප්‍රායෝගිකත්වය පිළිබඳ මහාචාර්යවාරයකු ලෙස ද කටයුතු කරයි.

ආචාර්ය දේවරාජන් පෙන්වාදෙන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය තවමත් සෘණාත්මක නමුත් 2022 වසරට වඩා එම සෘණාත්මක බව බෙහෙවින් අඩු බවත්, 2024 දී එය ධනාත්මක වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

ආර්ථිකය පිළිබඳ විශ්වාසය නැවත ඇතිවන බැවින් රජය ප්‍රතිසංස්කරණ වැඩසටහන් අඛණ්ඩව කරගෙන යන්නේ නම් 2024 සඳහා ආර්ථික අපේක්ෂාවන් යහපත්වනු ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාකාරිත්වය පසුගිය වසරට වඩා හොඳ මට්ටමක පවතින බව පවසන ආචාර්ය දේවරාජන්, ශ්‍රී ලංකාව 2022 සැප්තැම්බර් මාසයේදී සියයට 70ක මට්ටමේ පැවති උද්ධමනය 2023 සැප්තැම්බර් මාසයේදී සියයට 2 දක්වා අඩුකළ බව පෙන්වා දුන්නේය.

“ආර්ථික වර්ධනය තවමත් සෘණාත්මක නමුත් 2022ට වඩා එම තත්ත්වය බෙහෙවින් අඩුයි; එය 2024 දී එය ධනාත්මක වනු ඇතැයි අපේක්ෂා කරනවා,” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

ධන බද්ද ඇතුළුව 2024 සඳහා යෝජිත බදු පිළිබඳ අදහස් දක්වමින් ආචාර්ය දේවරාජන් කියාසිටියේ ශ්‍රී ලංකාවේ බදු ආදායම වැඩිකළ යුතු බවත් සාමාන්‍ය ප්‍රතිපත්තියක් ලෙස දුප්පතුන්ට වඩා ධනවතුන්ගෙන් බදු අය කළ යුතු බවයි.

ධනවතුන් අතර ධනය උපයන ප්‍රධානතම මාර්ගයක් වන්නේ ඔවුන්ගේ දේපළ බව පෙන්වා දුන් ඔහු, ඒ සඳහා බොහෝදුරට බදු අය නොකෙරෙන බව පෙන්වා දුන්නේය.

“මේ නිසා, දුප්පතුන්ට හානියක් නොවන පරිදි බදු ආදායම ඉහළනැංවීමට අවශ්‍ය නම්, දේපළ බද්දක් අර්ථවත් වෙයි,” ඔහු තවදුරටත් පැවසීය.

42.31%
17.27%
32.76%