January 26, 2024

නව දූෂණ මර්දන පනත මගින් ලබා දී ඇති බලතල යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පෞද්ගලික අංශයේ පළමු අල්ලස් වැටලීම සිදු කර තිබේ.

2023 අංක 09 දරන දූෂණ මර්දන පනත මගින් මීට පෙර රාජ්‍ය අංශයේ අල්ලස හෝ දූෂණයට පමණක් අදාළව තිබූ බලතල අභිබවා පෞද්ගලික අංශයේ අල්ලස් සම්බන්ධයෙන් කටයුතු කිරීමට අල්ලස් කොමිසමට බලය පවරා ඇති බව එම කොමිසම පවසයි.

ඒ අනුව කොමිසමේ අනුමැතිය ඇතිව නිලධාරීන් විසින් පෞද්ගලික අංශයේ අල්ලස් වරදක් සම්බන්ධයෙන් පළමු වැටලීම අද සිදු කරන ලදී.

සේවිකාවකගෙන් ලිංගික අල්ලසක් ඉල්ලා සිටි බව කියන පෞද්ගලික හෝටලයක මානව සම්පත් කළමණාකරු සහ ගණකාධිකාරීවරයකු ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

මහවිලච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

පෞද්ගලික හෝටලයක සේවය කරන මෙම සේවිකාවට දැනට අය කරන සේවා ගාස්තුවෙන් 75%ක් සම්පූර්ණයෙන් ගෙවීමටත් ඇයගේ රැකියාව ඉදිරියේදී උසස් නිලධාරීන් විසින් ස්ථිර කිරීමට කටයුතු යොදන බවටත් පොරොන්න්දු වී ලිංගික අල්ලස ඉල්ලා තිබේ.

එසේම ඇයට කරදරයකින් තොරව ඇයගේ වැඩකටයුතු කරගෙන යාමට අවශ්‍ය කටයුතු සිදු කරන බවටද සහතික වී ඇත.

ඒ වෙනුවෙන් එම හෝටලයේ ගණකාධිකාරීවරයා ඇයව හබරණ ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක කාමරයකට ගෙන්වා ගත් බව පැවසේ.

අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

42.31%
17.27%
32.76%