November 16, 2023

කැලණිය හුණුපිටිය බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පති එච්. ඩබ්ලිව්. පී. සමරරත්න කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී සිදුවූ මාරක රිය අනතුරකින් මියගොස් ඇත.

පෙරේදා (14) සවස මෙම මාරක රිය අනතුර සිදුවන අවස්ථාවේදී විදුහල්පතිවරයා සිය බිරිඳ සමඟ කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ වේල්ස් කුමාර මාවතේ ගිනි නිවන හමුදා මූලස්ථානය අසලින් සිය යතුරුපැදිය ධාවනය කරමින් තිබියදී මෙම අනතුර සිදුව තිබේ.

එහිදී යකඩ බාර් පටවා තිබූ කොළඹ නගර සභාවේ ලොරි රථයක මීටර් හතරක් පමණ පිටතට නිරාවරණය වී තිබූ යකඩ කූරක් විදුහල්පතිවරයාගේ ගෙල ප්‍රදේශයේ ඇනීම හේතුවෙන් බරපතළ තුවාල ලැබූ විදුහල්පතිවරයා ගිනි නිවන හමුදාවේ ගිලන් රථයකින් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කළ නමුත් ප්‍රතිකාර ලැබීමටත් ප්‍රථම මියගොස් තිබේ.

මෙම මාරක අනතුරින් බරපතළ තුවාල ලැබූ එම යතුරුපැදියේ පසුපැදිකරු වන මියගිය විදුහල්පති වරයාගේ බිරිඳ මේ වනවිට කොළඹ ජාතික රෝහලේ 73 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබන බව රිය අනතුර පිළිබඳව පරීක්ෂණ සිදුකරන පොලිසිය සඳහන් කරයි.

පළමු ශ්‍රේණියේ විදුහල්පතිවරයකු වන එච්. ඩබ්ලිව්. පී. සමරරත්න මියයන විට 56 වැනි වියේ පසුවී ඇත.