April 16, 2024

යාපනයේ වඩමරච්චි ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයකු සමාජ මාධ්‍ය ඔස්සේ සකසා ගත් ආධාර කරන්නන්ගේ සමූහයක් මගින් රුපියල් දෙකෝටි විසිහතර ලක්ෂයක මුදලක් එකතුකර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යාපනය මානව හිමිකම් කොමිෂන් සභා කාර්යාලයට පැමිණිල්ලක් ලැබී තිබේ.

ඒ ඔස්සේ පරීක්ෂණ ආරම්භකොට ඇති මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන් රුපියල් ලක්ෂ ගණනින් එම පාසලේ සංවර්ධන කටයුතු සඳහා ආධාර සපයා දුන් පුද්ගලයන් පිළිබඳව දත්ත හා තොරතුරු රැස් කිරීමට පටන් ගෙන තිබේ.

පාසලේ දෙගුරුන් විසින් පාසල් සංවර්ධන සමීතිය කැඳවා එහිදී විදුහල්පතිවරයාට චෝදනා කරමින් එසේ එකතු කර ගන්නා ලද මුදල් වලට සිදුවූයේ කුමක්දැයි විමසූ අවස්ථාවේදී විදුහල්පතිවරයා පවසා ඇත්තේ තමන් එසේ මුදල් එකතුකර නොමැති බවයි.

එම අවස්ථාවේදී දෙමව්පියන් පිරිසක් අදාළ සමාජ මාධ්‍ය සමූහය හරහා පාසලට ආධාර සපයන ලද පිරිස ගැන සභාවේදී තොරතුරු ඉදිරිපත් කළ අවස්ථාවේදී විදුහල්පතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, එම මුදල් පාසල් සංවර්ධනයට නොව තමන්ගේ විදේශගත හිත මිතුරන් පිරිසක් විසින් තමන් ඇතුළු පිරිසක් විසින් පවත්වා ගෙන යන ස්වෙච්ඡා සංවිධානයක සමාජමය කටයුතු ඉටු කිරීමට ලබා දී ඇති බවයි.

විදුහල්පතිවරයා ඒ ගැන නිවැරදි තොරතුරු ප්‍රකාශ නොකිරීම නිසා එම පාසලේ පාසල් සංවර්ධන සමිතියේ නිලධාරීන් ඒ පිළිබඳව මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කිරීමෙන් පසුව පරීක්ෂණ කටයුතු ආරම්භ වී ඇත.

මානව හිමිකම් කොමිෂමේ නිලධාරීන්ගේ දැනුම්දීමක් මත යාපනයේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා එම මුදල් සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ලිපියක් මගින් අදාළ විදුහල්පතිවරයාට දැනුම් දී තිබේ. (දිවයින)

42.31%
17.27%
32.76%