November 3, 2023

ශ්‍රී ලංකාවේ මුළු ඩිජිටල් සිල්ලර ගෙවීම් ප්‍රමාණය 2022 මට්ටමට වඩා සියයට 128ක් ඉහළයමින් 2027 වසර වන විට රුපියල් ට්‍රිලියන 77.2කට ළඟා වනු ඇති බව රොබෝකෑෂ් ශ්‍රී ලංකා (Robocash Sri Lanka) ආයතනය සිදුකළ විශ්ලේෂණයකින් අනාවරණ වෙයි.

එම සමාගමේ මෙම ශුභවාදී පුරෝකථනය පදනම් වී ඇත්තේ, ඉදිරි වසර පහ තුළ සියලුම ප්‍රධාන සාර්ව ආර්ථික දර්ශක සමතුලිතතා මට්ටමට ළඟා වන බවට හෝ 2024 වසරේදී ආරම්භ වන කාර්තු 12 පුරා ස්ථාවර ධනාත්මක ගතිකත්වයක් ඇති බවට උපකල්පනය කිරීම මතයි.

දිගු කාලීනව සිදුවිය හැකි නරකම තත්ත්වය තුළ වුවද, සමාගම අපේක්ෂා කරන්නේ 2027 වසර වන විට ශ්‍රී ලංකාවේ මුළු ඩිජිටල් සිල්ලර ගෙවීම් ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 43.94 දක්වා, 2022 මට්ටමට වඩා සියයට 30කින් ඉහළ යනු ඇති බවයි.

2022 වසර වන විට, ජනගහනයෙන් ආසන්න වශයෙන් සියයට 90ක් ක්‍රියාකාරී බැංකු ගිණුම් පැවැති අතර, ණය කාඩ්පත් මිලියන 18.7ක් සංසරණයේ පවතියි.

මෙය සියයට 85ක ඩෙබිට් කාඩ් භාවිත අනුපාතයක් සඳහා දායක වී ඇති අතර එය ගෝලීය සාමාන්‍යය වන සියයට 51 ඉක්මවයි.

කෙසේවෙතත්, දැනට ශ්‍රී ලංකාවේ ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතය සියයට 10ක් වන අතර එය ගෝලීය සාමාන්‍ය අගය වන සියයට 22ට අඩු අගයකි.

එසේවුවද, මෙම ප්‍රවණතාව ශ්‍රී ලංකාවේ මූල්‍ය තාක්ෂණ වෙළඳපොළ සඳහා ශුභවාදී සහ බලාපොරොත්තු සහගත චිත්‍රයක් මවාපාමින්, අභියෝගාත්මක ආර්ථික තත්ත්වයන් තුළ පවා දියුණු වීමට ඇති හැකියාව අවධාරණය කරයි.

2023 මුල් භාගය වන විට, ශ්‍රී ලංකාව ඩිජිටල්කරණය වැළඳගැනීමේ සැළකිව යුතු ප්‍රගතියක් අත්කර ගෙන ඇති අතර, අන්තර්ජාල භාවිත කරන්නන් මිලියන 14.6ක් සහ ක්‍රියාකාරී සමාජ මාධ්‍ය භාවිත කරන්නන් මිලියන 7.2ක් සිටියි.

සැළකිව යුතු ලෙස, ඊ-වාණිජ්‍යය අංශය දියුණු වෙමින් පවතින අතර, 2023 වසරේදී මූලික වශයෙන් ඉලෙක්ට්‍රොනික අංශය විසින් මෙහෙයවනු ලැබු මිලියන 5.5ක පරිශීලකයින් මගින් රුපියල් බිලියන 777.6ක වෙළඳ පොළ වටිනාකමක් ළඟාකර ගැනීමට හැකි වී ඇත.

ඊ-වාණිජ්‍යය වෙළඳපොල 2023 සිට 2027 දක්වා සියයට 15.29 ක ආකර්ෂණීය වාර්ෂික වර්ධන වේගයක් පවත්වා ගෙන යනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර එය 2027 වසර වන විට රුපියල් බිලියන 1,387.52ක වෙළඳ පොළ පරිමාවක් කරා ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කොවිඩ් වසංගතයෙන්බලපෑම් මතු වූ යුගයක, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ගෙවීම් කැපී පෙනෙන වර්ධනයක් අත්විඳ ඇත.