February 21, 2024

සිය බිරිය අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන යන පොලිස් පරීක්ෂකවරයකු සමග එකතුවී තමාට පහර දුන් බවට ප්‍රභූ ආරක්ෂක සේවාවක පොලිස් කොස්තාපල්වරයකු වැල්ලවත්ත පොලිසියට පෙරේදා (19) පැමිණිල්ලක් කර ඇත.

බිරිය සමඟ එක්වී පහර දුන් මෙම පොලිස් පරීක්ෂකවරයා නිවෙසේ තිබූ තමාට අයත් රුපියල් 40,000 මුදලක්, රන් මාලයක් සහ විදේශීය මත්පැන් බෝතල් 3ක් ද රැගෙන පිටව ගිය බව කොස්තාපල්වරයා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වන බව පැවැසේ.

මෙම පොලිස් පරීක්ෂකගේ නමද ඔහු රාජකාරී කරන කොළඹ ප්‍රදේශයේ පිහිටි පොලිස් ස්ථානයේ නමද මෙම පැමිණිල්ලේ සඳහන් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග වලින් දැන ගැනීමට ඇත.

අදාළ පොලිස් පරීක්ෂකවරයා පරීක්ෂක තම බිරිය සමග අනියම් සම්බන්ධතාවක් පවත්වා ගෙන යන බව දැන ගැනීමට ලැබුණු කොස්තාපල්වරයා, හොර රහසේ නිවෙසට පැමිණෙන විට දෙදෙනාම නිදන කාමරයේ සිටින අයුරු දැක සිය ජංගම දුරකතනයෙන් වීඩියෝ කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

නිදන කාමරයේ සිටි දෙදෙනා වීඩියෝ කරන අයුරු දුටු පසු ඒ දෙදෙනාම එකතු වී තමන්ට පහර දුන්නේ යැයි කියමින් පොලිස් කොස්තාපල් පැමිණිලි කර ඇති අතර, මුදල්, රන්මාලයක් සහ විදේශීය මත්පැන් බෝතල් තුනක් ද පරීක්ෂක රැගෙන ගියේ යැයි පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කර ඇතැයි පොලිසිය කියයි.

වැල්ලවත්ත පොලිසියේ විවිධ පැමිණිලි විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.(ලංකාදීප)

42.31%
17.27%
32.76%