November 2, 2023

මාර්ගවල වාහන සංඛ්‍යාවේ තිරසර සමතුලිතතාවක් සහතික කිරීම සඳහා යම් වාහන ප්‍රමාණයක් රටින් අපනයනය කිරීම පිළිබඳ සළකා බැලිය යුතු බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක පැවසීය.

කොළඹදී පැවති “සුරක්ෂිත මාර්ග – සුරක්ෂිත දරුවන්” ජාත්‍යන්තර මාර්ග ආරක්ෂණ සමුළුව – 2023 අමතමින් ඔහු කියා සිටියේ, සාම්ප්‍රදායික ඩීසල් හෝ පෙට්‍රල් වාහන වෙනුවට පරිසර හිතකාමී විකල්පයක් ලෙස විද්‍යුත් වාහන භාවිතය පිළිබඳ සොයා බැලීම අත්‍යවශ්‍ය බවයි.

“ජනාධිපතිතුමා වාහන ආනයනය පිළිබඳ ප්‍රතිපත්තියක් සැකසීමට කමිටුවක් පත්කළා, එම කමිටුව මඟින් වාහන ආනයනය සඳහා විවෘත ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුද නැතහොත් වාහන ආනයනය සඳහා වසරකට නිශ්චිත බලපත්‍ර ප්‍රමාණයක් නිකුත් කරන සිංගප්පූරුව වැනි ක්‍රමයක් ක්‍රියාත්මක කළ යුතුද යන්න ඇගයීමට ලක් කරනු ඇති ,” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

මෙම සලකා බැලීමට අනාගත ආර්ථික භූ දර්ශනය සහ මාර්ග යටිතල පහසුකම් තත්ත්වය වැනි සාධක ඇතුළත් වන අතර මාර්ග අනතුරු පිළිබඳ ගැටලුවද අවධානයට ලක්කෙරේ.

එහි ප්‍රතිඵලයක් ලෙස අදාළ සැලසුම් සකස් කිරීම සඳහා කමිටුව විවිධ පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කරනු ඇත.

මේ අතර, බොහෝ දෙනෙකුගේ ජීවනෝපාය සහ මහජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා කෙරෙහි සැළකිව යුතු බලපෑමක් ඇති කරමින් ත්‍රිරෝද රථ සම්පූර්ණයෙන්ම තහනම් කිරීම එක රැයකින් සිදු කළ නොහැකි බව සාගල රත්නායක පැවසීය.

එබැවින් රටේ ආර්ථිකය වඩාත් දියුණු තත්ත්වයකට පත්වන තෙක් ත්‍රිරෝද රථවල ආරක්ෂාව ක්‍රමානුකූලව ඉහළ නැංවීම සඳහා පුළුල් සැලැස්මක් අවශ්‍ය බව ඔහුගේ අදහස වී තිබේ.

42.31%
17.27%
32.76%