February 8, 2024

සිමෙන්ති සංස්ථාව සතු අක්කර 5000ක ඉඩමෙන් වසරකට ඩොලර් මිලියන 300ක් උපයා ගත හැකි සැලැස්මක් ඇති බවත්, ඒ වෙනුවෙන් ආයෝජනය කිරීමට සූදානම් ආයතනයක් ද මේ වන විට තෝරාගෙන ඇති බවත්, ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක පවසයි.

කුමන ප්‍රශ්න පැමිණිය ද රටේ පවතින සම්පත්වලින් හැකි තරම් ප්‍රයෝජන ලබාගෙන රට ගොඩනැඟීමට කටයුතු කළ යුතු බව රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කරයි.

‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (07) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව පවසා ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේ ද සඳහන් කර තිබේ.

”රට විශාල ආර්ථික අර්බුදයකට ලක්ව තිබූ අවස්ථාවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ රට බාරගත්තා. දැන් ඔහු එම වගකීම සාර්ථකව ඉටු කරමින් සිටිනවා. ඒ වගේම එවකට මට බාරදුන් අමාත්‍යාංශය සතු ආයතන ද දැඩි කඩාවැටීමකට ලක්ව තිබුණා. එම ආයතන අතර ලාබ ලබන තත්ත්වයක පැවතුණේ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පමණයි. එය ඒ වන විට වසරකට ඩොලර් මිලියන 280ක පමණ අදායමක් උපයනු ලැබුවා. නමුත් පසුගිය වසර අවසන් වන විට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මඟින් ඩොලර් මිලියන 480ක පමණ මුදලක් උපයා ගැනීමට අප සමත්ව තිබෙනවා.

වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාව ද අප නැවත ආරම්භ කළා. එම ආයතනය තවමත් ලාබ ලබන තත්ත්වයට පත්ව නොමැති නමුත් තිබෙන ණය ගෙවීමට හා සේවක වැටුප් ද ගෙවමින් පවත්වාගෙන යා හැකි මට්ටමට ගෙනවිත් තිබෙනවා.

ඒ වගේම පොස්පේට් ආයතනයේ මිලියන 24ක් පමණ වටිනා ඛනිජ සම්පත් තිබෙනවා. නමුත් රාජ්‍ය නොවන සංවිධාන විසින් ගොනු කර තිබෙන නඩු කටයුතු හේතුවෙන් එයින් ආදායම් උපයාගත නොහැකිව තිබෙනවා. එවැනි ප්‍රශ්න හමුවේ වුවත් යම් පොස්පේට් ප්‍රමාණයක් අලෙවි කිරීමට අපට හැකියාව ලැබුණා. ඒ හරහා සියලුම ණය මෙන්ම වැටුප් ගෙවීම් සිදුකර මහා භාණ්ඩාගාරයට ද රුපියල් මිලියන 350ක් ලබා දීමට හැකියාව ලැබුණා.

මෙවැනි ආයතන වගේම අලිමංකඩ, මන්නාරම ලුණු ලේවායන්වලින් ද ලාබ ලබා රුපියල් මිලියන 100ක් මහා භාණ්ඩාගාරයට ලබාදීමට අප කටයුතු කළා. අප රටේ පවතින සම්පත්වලින් ඕනෑ තරම් ප්‍රයෝජන ලබා ගත හැකියි. නමුත් ඒ සදහා ක්‍රියාත්මක වීමේදී විවිධ බාධා ගැටළු මතු වෙනවා.

සිමෙන්ති සංස්ථාව දැනට නමට පමණක් සීමා වී තිබෙනවා. එහි අක්කර 5000ක පමණ ඉඩමක් තිබෙනවා. ඒ වාගේම ඩොලර් මිලියන ගණනක ඛනිජ සම්පත් ද එහි තිබෙනවා. අප එය අදායම් උපයන මාර්ගයක් බවට පත් කර ගැනීමට සැළසුම් කර අවසන්. ඒ අනුව වසරකට ඩොලර් මිලියන 300ක පමණ අදායමක් උපයා ගැනීමට අපේක්ෂා කරනවා. ඒ සඳහා ආයෝජනය කිරීමට සූදානම් ආයතනයක් ද තෝරා ගෙන අවසන්.

ඒ වගේම ඇල්ල නගරය සංචාරකයන්ගෙන් පිරී ඉතිරී යමින් තිබෙනවා. ඇල්ල නගරයේ පමණක් දෛනිකව සංචාරකයන් 3000ක් සිටිනවා නම් රට පුරා කොපමණ සංචාරකයන් සිටිය හැකි ද කියා තක්සේරු කළ හැකියි. මේ සියලු අවස්ථා රටේ සංවර්ධනය වෙනුවෙන් යොදාගත යුතුයි.”

42.31%
17.27%
32.76%