December 3, 2023

නැන්දම්මාගේ ගෙල කපා ඝාතනය කර බිරිඳට බරපතළ කැපුම් තුවාල සිදුකිරීමේ චෝදනාවට වරදකරු වූ විත්තිකරුවකුට රත්නපුර මහාධිකරණ විනිසුරු නයනා සෙනෙවිරත්න මරණ දඬුවම නියම කළාය.

බළන්ගොඩ කොටුගොඩැල්ල ප්‍රදේශයේ පදිංචි කසුන් වර්ණක කහංගම නමැති විත්තිකරු ඝාතනය සහ මිනීමැරීමට තැත්කිරීම සම්බන්ධයෙන් වරදකරුවීමත් සමඟ ජූරි සභාවකින් තොරව පැවැති නඩු විභාගයකින් අනතුරුව මෙම තීන්දුව ලබා දී ඇත.

ත්‍රිරෝද රථ රියදුරකු වන විත්තිකරු 2011 වසරේ නොවැම්බර් මස 04 වැනි දින පස්වරුවේ පොදු මාර්ගයකදී මෙම අපරාධය සිදුකර ඇත.

විත්තිකරු තම බිරිඳ නීත්‍යනුකූලව විවාහ කරගෙන ඇති නමුත් ඇයව කිසි දිනක ඔහු සමඟ ජීවත්වීමට රැගෙන ගොස් නැත.

පසුව ඇය වෙනත් කාරණයක් මත ඔහු හැර ගොස් ඇත.

සිද්ධිය වූ දින ඔහු ඇයව පාරේ කොටුකර ගෙන ඇත්තේ ඇයට කතා කළ යුතු බව පවසමිනි.

ඇය එය ප්‍රතික්ෂේප කිරීමත් සමඟ ඔහු තියුණු ආයුධයක් ගෙන එය භාවිත කර ඇය සමඟ සිටි බිරිඳගේ මවගේ හිස ගසා දමා බිරිඳගේ ගෙලට බරපතළ කැපුම් තුවාල සිදුකර තිබේ.

පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි මෙහෙයවූ රජයේ අධිනීතිඥ ශෂිකලා කුමාරි, ඝාතන අවිය මෙන්ම ඝාතනයට සම්බන්ධ ආයුධයේ හිසකෙස් සහ රුධිර සාම්පලවලට ගැළපෙන DNA වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කළාය.

විත්තිකරු වෙනුවෙන් පෙනීසිටි නීතීඥ එස්.පී.සේනාරත්න DNA වාර්තාවේ ප්‍රතිඵල පිළිගත්තේය.

විත්තිකරු විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් කරමින් කියා සිටියේ සිද්ධිය වූ අවස්ථාවේ තමා දැඩි ලෙස මානසික අවපීඩනයෙන් සිටි බවත් තමන් කළ දේ අදහාගත නොහැකි වූ බවත්ය.

අපරාධයෙන් පසුව තුවාල ලැබූ වින්දිත කාන්තාව විත්තිකරුගෙන් දික්කසාද වී ඇත.

පසුව ඔහු වෙනත් කාන්තාවක් සමඟ විවාහ වී ඇත.

තම නැන්දම්මා ඝාතනය කිරීමේ වරදට මරණ දණ්ඩනයට අමතරව පෙර බිරිද ඝාතනය කිරීමට තැත්කිරීමේ වරදට මහාධිකරණ විනිසුරු සෙනෙවිරත්න විත්තිකරුට වසර 10ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් සහ රුපියල් 10,000ක දඩයක්ද නියම කළේය.

දඩ මුදල නොගෙවන්නේ නම් තවත් මාස හතරක සිරදඬුවමක් ඔහුට නියම විය.

තුවාල ලැබූ වින්දිත කාන්තාවට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙසද විනිසුරු විත්තිකරුට නියෝග කෙරිණි.

250,000ක් වන එම වන්දිය ගෙවීමට අපොහොසත් වුවහොත් ඔහුට තවත් මාස 18ක සිරදඬුවමක් ද නියම නෙරිණි.

 

42.31%
17.27%
32.76%