October 26, 2023

ලෝක කුසලාන තරගාවලියේ එංගලන්තයට එරෙහි තරගය කඩුලු 8කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

බැංග්ලෝරයේ චින්නස්වාමි ක්‍රීඩාංගනයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට ජොස් බට්ලර් ගත් තීරණයට කිසිසේත්ම සාධාරණයක් ඉටු කිරීමට එංගලන්ත පිතිකරුවන්ට අවස්ථාවක් හිමි නොවීය.

ලෝක කුසලාන තරගාවලියක ශ්‍රී ලංකාව හමුවේ දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 33යි පන්දු 2කදී ලකුණු 156කට සියලු දෙනා දැවී ගියහ.

මෙය චින්නස්වාමි ක්‍රීඩාංගනයේ කණ්ඩායමක් රැස් කළ අඩුම ලකුණු සංඛ්‍යාව ද වේ.

බෙන් ස්ටෝක් ලකුණු 43ක් ලබා ගෙන හුදකලා සටනක නිරත වුවත් ඔහුට අනෙක් අන්තයෙන් කිසිදු සහයක් හිමි නොවීය.

පන්දු යැවීමේදී ලහිරු කුමාර ලකුණු 35කට කඩුලු 3ක් දවා ගත්තේය.

සිව්වන ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කරන ඇන්ජලෝ මැතිව්ස් කඩුලු 2ක් සහ කසුන් රාජිත කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංක ඉනිමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 4ක් ලබා සිටි කුසල් ජනිත් දවා ගැනීමට ඩේවිඩ් විලී දෙවැනි පන්දුවාරයේදීම සමත් වූයේය.

මුුලු ලකුණු සංඛ්‍යාව 23ක් වෙද්දී කුසල් මෙන්ඩිස්ගේ කඩුල්ල ද දවා ගැනීමට විලී සමත් වූයේ එංගලන්තයේ පීඩනයෙන් කොටස් ශ්‍රී ලංකා පිතිකරුවන් වෙත මාරු කරමින්ය.

නමුත් පැතුම් සමග පිටියේ එක් වුණු සදීර ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත්ව ගොඩ නැගුවේ ජයග්‍රහණය තෙක් කණ්ඩාම රැගෙන යමිනුයි.

තරගාවලිය තුළ සිව්වැනි අර්ධ ශතකය වාර්තා කළ පැතුම් නිස්සංක නොදැවී ලකුණු 77කි.

සදීර ලකුණු 65ක් රැස් කළේය.

පන්දු 146ක් ඉතිරිව තිබියදී ජයග්‍රහණය සම්පූර්ණ කළ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව 5 වැනි වරටත් ලෝක කුසලාන තරගාවලියකදී එංගලන්තය පරාජය කිරීමට සමත්  විය.