November 26, 2023

යුද්ධයෙන් සහ යුද සමයේදී මියගිය අය සිහිපත් කිරීම සඳහා උතුර සහ නැගෙනහිර පළාත්වල, දෙමළ ප්‍රජාව විසින් හෙට දිනයේ සංවිධාන කරන සැමරුම් උත්සව තහනම් කරන ලෙස ඉල්ලා පොලිසිය කරන ලද ඉල්ලීම් අධිකරණ කිහිපයක් ප්‍රතික්ෂේප කර තිබේ.

කිලිනොච්චිය කොට්ඨාසයේ පොලිස් ස්ථාන කිහිපයක් ගොනුකරන ලද අයැදුම්පත් 07ක් සිකුරාදා දිනයේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණි අවස්ථාවේදී, අහිමි වූ තම ආදරණීයයන් සිහිපත් කිරීමට ජනතාවට ඇති අයිතිය පිළිගනිමින් හදිසි මහජන පීඩා වගන්ති යටතේ නියෝගයක් ලබා දීම අධිකරණය ප්‍රතික්ෂේප කළේය.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 (1) වගන්තිය යටතේ පොලිසිය විසින් මහේස්ත්‍රාත්වරයාගෙන් ඉක්මන් තහනම් නියෝගයක් ඉල්ලා සිටියේ, තහනම් කර ඇති ත්‍රස්තවාදී සංවිධානයක් වන දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) ත්‍රස්තවාදීන් සැමරීම සඳහා මෙම උත්සව සංවිධානය කරන බව පවසමිනි.

පොලිසිය තර්ක කළේ ඊට ඉඩ දෙන්නේ නම්, එය ප්‍රජාවන් අතර සතුරුකමක් ඇති කර ප්‍රදේශයේ සාමාන්‍ය තත්ත්වයට බාධා කරන බවයි.

කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවලට පෙනී සිටි යාපනය දිස්ත්‍රික් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා ප්‍රකාශ කළේ, පසුගිය වසර දහතුන පුරාම මෙවැනි සිදුවීම් වාර්ෂිකව සිදුකෙරුණු බැවින් මෙම සිදුවීම් වැළැක්වීමට පොලිසිය ගත් උත්සාහයන් අයහපත් විශ්වාසයකින් සිදුවූවක් බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි වගන්තියේ (අ), (ආ) සහ (ඇ) වගන්ති යටතේ ඇසුරු කිරීමේ අයිතිය සහ ආගමික නිදහස පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් බව ඔහු අධිකරණයට පැවසීය.

මියගිය අයගේ ආගමික විශ්වාසයන්ට අනුකූලව ඔවුන්ට සැනසීම ලබාදීම සඳහා මෙම උත්සව සංවිධාන කර ඇති අතර එම මූලික අයිතිවාසිකම කප්පාදු කළ නොහැකි බව ඔහු පැවසීය.

සැමරුම් සඳහා ඉදිකෙරෙන තාවකාලික මඩු කඩා වැටුණහොත් ජනතාවට අනතුරක් විය හැකි බවත් ඇතැම් මඩු ඉදිරියේදී ඉදිකිරීමට නියමිත බවත් පොලිසිය අධිකරණයට ප්‍රකාශ කළ විට එවැනි අවස්ථා පිළිබඳ තාක්ෂණික වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අධිකරණය පොලිසියට නියම කළේය.

එලෙසම, යාපනය, මල්ලාකම්, පේදුරුතුඩුව, කොක්කඩිචෝලෙයි සහ වව්නතිව් යන ප්‍රදේශවලද මහේස්ත්‍රාත් අධිකරණ විසින් සමරු උත්සව තහනම් කරන ලෙස පොලිසිය කළ ඉල්ලීම්ද ප්‍රතික්ෂේප කරන ලදී.

කෙසේවෙතත්, ත්‍රිකුණාමලයේ සාම්පූර් මහේස්ත්‍රාත් අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කළ නමුත් සඳුදා දිනයේදී අධිකරණයේ තීන්දුව යළි සළකා බලන ලෙස ඉල්ලා මෝසමක් ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් පවතියි.

“මහවිරු දිනය” ලෙසින් හඳුන්වනු ලබන වාර්ෂික මහජන උත්සවයක් ලෙස කැප වූ දිනය එල්ටීටීඊය විසින් හඳුන්වාදෙනු ලැබුවේ නොවැම්බර් 27 වැනි දිනයටයි.

එහිදී දෙමළ ජනයා ප්‍රධාන සුසාන භූමිවල දී දිවි පිදූ සහ මියගිය තම ඥාතීන් සහ හිතවතුන් සැමරීම සිදුකෙරේ.

යුද්ධය අවසන් වීමෙන් පසුව, ආරක්ෂක බලධාරීන් විසින් එවැනි සුසාන භූමි බොහොමයක් විනාශ කර හෝ නව ගොඩනැගිලි ඉදිකර ඇත.

මේ අතර උතුරු ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.පී.එම්. ගුණරත්න පවසා ඇත්තේ, නීති උල්ලංඝනය කිරීම් හෝ ත්‍රස්තවාදීන් සැමරීම වැනි නීති විරෝධී ක්‍රියා සිදුවුවහොත් පොලිසිය එම තත්ත්වයට නීතියට අනුව කටයුතු කරන බවයි.

මේ අතර, පොලිස්පතිවරයා සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා මේ සතියේ අභියාචනාධිකරණයට ප්‍රකාශයක් ලබා දුන්නේ එල්ටීටීඊය සැමරීමේ එවැනි ඕනෑම උත්සාහයකදී පොදු නීතිය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ ක්‍රියාමාර්ග ගන්නා බවයි.

පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ශමින්ද්‍ර වික්‍රම විසින් මෙම සහතිකය ලබා දෙන ලදී.

එල්.ටී.ටී.ඊ සංවිධානය සහ මියගිය එහි දිවංගත නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් සැමරීම සඳහා පවත්වන ඕනෑම උත්සවයකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා විශ්‍රාමික හමුදා බුද්ධි අංශ නිලධාරියකු වන ආනන්ද ජයමාන්න විසින් ගොනු කරන ලද රිට් පෙත්සමක් අභියාචනාධිකරණය විසින් විභාගයට ගත් අවස්ථාවේදී පොලිස්පතිවරයා සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා මේ බව ප්‍රකාශ කළහ.

42.31%
17.27%
32.76%