January 2, 2025

පිළිකා රෝගයෙන් පෙළෙන මෙරට දරුවන් සඳහා රජයේ රෝහලක ඇති පළමු සහ එකම ඇටමිදුළු සහ රුධිර ජනන ප්‍රාථමික සෛල බද්ධ කිරීමේ ඒකකය මහරගම අපේක්ෂා පිළිකා රෝහලේදී අද (02) විවෘත කෙරිණි.

රුහුණු කතරගම මහා දේවාලයේ මුල්‍ය අනුග්‍රහය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වය මත මෙම ඒකකය ඉදිකිරීමට හැකි වී ඇත.

සමාරම්භක උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ සහ කතරගම දේවාලයේ ‘බස්නායක නිලමේ’ ඩිෂාන් ගුණසේකර යන පිරිසගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන දරුවන්ගේ ඉඩකඩ අවශ්‍යතාව වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ විය.

2023 දී රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේතුමා විසින් කතරගම දේවාල අරමුදලින් මෙම ව්‍යාපෘතිය සඳහා මුල්‍ය ප්‍රතිපාදන ලබා දෙන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අනුග්‍රහය ඇතිව සිදුකළ මූලික සැලැස්මේ අරමුණ වූයේ තෙමහල් වාට්ටු සංකීර්ණයක් ඉදිකිරීමයි.

කෙසේවෙතත්, ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වයෙන්, ව්‍යාපෘතිය සිව්මහල් සංකීර්ණයක් දක්වා ව්‍යාප්ත වූ අතර එය 2024 දී නිම කර මහජනතාව සඳහා විවෘත කරන ලදී.

අලුතින් පිහිටුවන ලද බද්ධ කිරීමේ ඒකකය සංකීර්ණයේ තුන්වැනි සහ හතරවැනි මහලෙහි පිහිටා ඇති අතර, පිළිකා සමඟ සටන් කරන දරුවන්ට උසස් සත්කාර සපයයි.

මෙම ව්‍යාපෘතිය සඳහා ගුවන් හමුදාවේ අඛණ්ඩ සහාය ලබාදෙමින් දිගු කාලීනව නඩත්තු කිරීම සහතික වී තිබේ.

42.31%
17.27%
32.76%