February 17, 2025

අලි මස්වලින් ටැබ්ලට් (කරල්) හදන නවතම සංවිධානාත්මක මහා පරිමාණ ජාවාරමක් ලංකාවේ ක්‍රියාත්මක වන බව පරිසර විද්‍යාඥ ආචාර්ය අජන්තා වීරසිංහ පවසයි.

අද දිනයේ (17) විදුලි බල අමාත්‍යංශයට පැමිණ අනවසර නිවාස සහ හොටෙල්වලට අනවසරව විදුලිය ලබාදීම වහාම නතර කරන්න යැයි බලධාරින්ට ලිඛිතව ලබාදීමෙන් පසුව පැවැතිජනමාධ්‍ය හමුවක ඇය මේ බව හෙළිකළාය.

ඇය එහිදී මෙසේ සඳහන් කළාය.

“අයවැය අස්සේ ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක් කියන්න තමයි අපි අද ආවේ. දැනට වනාන්තර වල සිටින අලි අවසන් ගමන් යවලා අලි මස්වලින් ටැබ්ලට් හදන ජාවාරමක් තමයි මේ අය සිදු කරන්නේ. රටේ පාලකයන්ට කොන්දක් නෑ. අනවසර විදුලි රැහැන් ඇදීම නිසා මේවන විට විශාල අලි ඇතුන් ප්‍රමාණයක් මියයනවා.

රක්ෂිත වනාන්තර ඇතුලේ අලිමංකඩ 16ක් තියනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ අලිමංකඩ 05ක් තියනවා. අලිමංකඩ අසල නිවාස හෝටල් සකස් කරනවා. එයට අවසරය දුන්නේ කව්ද? මේ නිවාස වලට විදුලිය සම්බන්ධතා ලබාදුන්නේ කව්ද? බරපතල සැකයක් තියනවා. 2023 වන විට අලි 75 ක් අනවසර විදුලි රැහැන් වලට ගැටී මියගොස් තිබෙනවා. මේ රටේ අහිංසක සතුන් මේ අය මරාගෙන කන්න කාටවත් අයිතියක් නෑ. මේ වන විට දඩමස් ආකාරයට අලි මස් විකිණිමේ මහාපරිමාණ ජාවාරමක් ක්‍රියාත්මක වෙනවා.

ලෝකයේ සමහර රටවල් අලි මස් උපයෝගිකරගෙන කරල් හදන ක්‍රම වේදයක් ක්‍රියාත්මක වෙනවා. මේ ආකාරයට අලි මස්වලින් කරල් සකස් කර විදෙස් වෙළෙද පොළට විකීණිමේ මහා ජාවාරමක් මේවන විට ලෝකයේ පවතනිවා. මේ නිසා අලි මරුවට කිසිවෙක් කතාකරන්නේ නෑ. කිසිදු පියවරක් ගන්නේ නෑ. අන්න ඒ අලි මස් ජාවාරම නිසා තමයි මේ තත්ත්වය උදාවෙලා තියෙන්නේ. අපි බලධාරින්ගෙන් අහන්නේ මේ අලි මරන එක නතරකරන්න බැරි ඇයි. ක්ලීන් ශ්‍රි ලංකා නම් ඇයි මේක ක්ලීන් කරන්නේ නැත්තේ.”