42.31%
17.27%
32.76%
October 16, 2023

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ සඳහා තරග කිරීමට මහා සංඝරත්නයේ නායකත්වයෙන් යුත් නව සන්ධානයක් ගොඩනැගිය යුතු බව මිහින්තලේ රජමහා විහාරාධිපති ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පැවසූහ.

වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ නායකත්වයෙන් යුත් ජාතික භික්ෂු එකමුතුව සකස් කළ ‘රට හදන මහ ජාතික වැඩපිළිවෙළ’ මහා සංඝ රත්නය වෙත පිළිගැන්වීමේ අවස්ථාවට පසුගියදා (14) එක්වෙමින් උන්වහන්සේ මේ බව වදාළහ.

තවදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේද පැවැසූහ.

”අපිට ජීවත් වෙන්න රටක් ඕනේ. අපේ ජීවිතේ දැන් ඉවරයි. නූපන් දරුවා වෙනුවෙන්, නූපන් පරපුර වෙනුවෙන් අපේ කාර්යභාරය ඉෂ්ට කළ යුතුයි. අපි මේ මිනිස්සුන්ට ණයගැතියි. ඒ ණයගැතිකම නිසා තමයි අපි අවදි වෙන්නට ඕනේ.
අපිද ණය ගන්නේ. අපිද හොරකම් කළේ. හතළිස් අටේ ඉඳලා අද දක්වා රට පාලනය කරපු මන්ත්‍රිලගේ ඇමැතිලගේ දේපළ ගැන ඇහුවොත් අපි සිහිය නැතිව ඇදගෙන වැටෙනවා.

සිංහල, දෙමළ, මුස්ලිම් කියන ජනවර්ග ඔක්කොම නැගිටපල්ලා. මේ රට බේරගන්න එක තැනකට වරෙල්ලා. එක පොකුරට වරෙල්ලා රට විකුණලා ඉවරයි. සංචාරයක් ගිහිල්ලා එද්දී තමයි දන්නේ අපි විකුණලා කියලා. මුන් වෙනස් වෙන්නෙත් නෑ. වෙනස් කරන්නෙත් නෑ. අපි වෙනස් කරමු. අපේ හාමුදුරුවන්ට පුළුවන් ආසනයේ විහාරස්ථානයේ හොඳ මනුස්සයෙක්ව ගේන්න.

අපි ණයගැතියි. අපිට සාප කරයි. මුන් බත් කෑවේ අපි දානේ දුන්නුවා, ඒත් කටවහගෙන හිටියා කියලා. ඔය ගෑවිච්ච එකෙක්වත් ඉන්න පක්ෂ නැතිව අපිට තවත් පක්ෂ ගණනාවක් තියෙනවා. එක ලකුණකින් අවුරුදු 40 – 60 අතර, සියයට පනහක් කාන්තා නියෝජනයක් සහිතව මිනිස්සු එකතු කරගෙන ඊළඟ ජනාධිපතිවරණයට, මහ මැතිවරණයකට ඉල්ලුම් පත් කැඳවමු. හාමුදුරුවන් වහන්සේ නිර්දේශ කරන්න. ගමක් ගමක් ගානේ, තුලානක් තුලානක් ගානේ ගිහින් මිනිස්සු දැනුවත් කරලා මේ පාදඩ දේශපාලනඥයෝ මේකෙන් චුත කරලා එළවලා දාන්න කටයුතු කරන්න ඕන.”

එහිදී ජාතික භික්ෂු එකමුතුවේ ජාතික සංවිධායක අක්මීමන දයාරතන හිමියෝ මෙසේ පැවැසුහ.

”අපි භික්ෂුන් වහන්සේලා එක එක තැන නෙවෙයි එක තැනකට ඇවිත් මේ කහ සිවුරේ බලේ, සිවුවනක් පිරිසේ බලය පෙන්වන්න ඕනේ.

ඒ නිසා තමයි මිහින්තලා ඓතිහාසික පුද බිමෙන් සම්බුද්ධ ශාසනය පිහිටෙව්වා වගේ නැවත මේ රට ගොඩනගන්න අවශ්‍ය වැඩපිළිවෙළ සූදානම් කරන්නයි අපි මේ පාරට බැහැලා වැඩකරන්නේ.”

එහිදී අදහස් දැක්වූ පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ මෙසේ පැවසූහ.

”රනිල් මහත්තයා වැඩකාරයෙක් කියලා අයි.එම්.එෆ්. එකෙන් ණය ගන්නවා. තෙල් ගේනවා. තෙල් පුච්චනවා. ආයෙත් ණය ගන්නවා. ආයෙත් තෙල් ගේනවා. ආයෙ තෙල් පුච්චනවා. ඒක දිගටම වෙනවා. දැන් දෙන්න තියන ඔක්කොම දීලා ඉවරයි. දෙන්න තියෙන්නේ අපේ වකුගඩු, අක්මා විතරයි. මේ සිවුරේ වගකීම ඉටුවෙන්නේ නැත්නම් අපි මේ රටේ ඉඳලා වැඩක් නෑ.”

42.31%
17.27%
32.76%