July 8, 2024

රුසියානු සන්නද්ධ හමුදාවන්ට බැඳුණු ශ්‍රී ලාංකිකයන් රුසියානු පුරවැසිභාවය ලබාගෙන සිටීම හේතුවෙන් ඔවුන් යළි මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතු සඳහා නව අභියෝගයක් මතුවී තිබේ.

මෙරට හිටපු හමුදා සාමාජිකයන් දහසක් පමණ රුසියානු සටන් සඳහා එක්ව සිටින අතර ඔවුන් අතරින් පිරිසක් තම කොන්ත්‍රාත්තුවට අනුව රුසියානු පුරවැසිභාවය ලබා ගෙන ඇත.

රුසියාව වෙනුවෙන් සටන් කරන ඔවුන් නිල මාර්ග හරහා රුසියානු පුරවැසිභාවය ලබාගනිමින් රුසියානු විදේශ ගමන් බලපත්‍ර ද ලබාගෙන ඇත.

බොහෝ සොල්දාදුවන් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සමඟ අත්සන් කර ඇති කොන්ත්‍රාත්තුවලට අනුකූලව, ඉදිරි මාසවලදී තවත් බොහෝ දෙනෙකුට ද පුරවැසිභාවය ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ නිසා යුක්රේන යුද පෙරමුණේ සටන්වල ​​නිරතව සිටින ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ සාකච්ඡා මේ වන විට සංකීර්ණ වී ඇති බව තතුදත් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

නීතියට අනුව දැන් එම සෙබළුන් රුසියානු පුරවැසියන් වීම ඊට හේතුවයි.

රුසියානු පුරවැසියන් ආපසු එවන ලෙස ඉල්ලා සිටිය නොහැකි බැවින් පවතින තත්ත්වය නිවැරදි කිරීම සඳහා මෙරට බලධාරීන් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

ඊට අමතරව දැනට රුසියානු හමුදාවල සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකුම ඔවුන් ආපසු ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය ඉදිරිපත් කළ ආධාර කාරුණිකව ප්‍රතික්ෂේප කර ඇත.

රුසියානු පුරවැසිභාවය ලබාගෙන ඇති බැවින් සහ ඔවුන්ගේ කොන්ත්‍රාත්තු අවසන් කිරීමට අවශ්‍ය බැවින් ඔවුන් මෙම වැඩසටහන ප්‍රතික්ෂේප කර ඇති බව දැනගන්නට තිබේ.

ශ්‍රී ලාංකිකයකු වෙනත් පුරවැසිභාවයක් ගත් විට ඔවුන්ගේ මෙරට පුරවැසිභාවය ඉබේම ඉවත්වන බැවින් ගැටලුව සංකීර්ණ වී තිබේ.

රුසියානු පුරවැසිභාවය ලබා ගත් පිරිස නීතිමය වශයෙන් ‘රුසියානුවන් ‘ යන්න ඔවුන්ගේ පවුල්වලට තේරුම් කර දීමට සිදුව ඇති බව ද දැනගන්නට තිබේ.

පසුගිය සතියේ විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ රුසියානු හමුදා සමඟ ක්‍රියාන්විතයේදී මියගිය ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙකුගේ අළු නැවත මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳ ශ්‍රී ලංකාව රුසියාව සමඟ සාකච්ඡා කළ බවයි.

අත්සන් කළ කොන්ත්‍රාත්තුවලට අනුව සේවා කාලය තුළ මියගිය අය වෙනුවෙන් වන්දි ලබා දෙන ලෙස ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් ඉල්ලා ඇති අතර එමඟින් මියගිය අයගේ ළඟම ඥාතීන්ට යම් සහනයක් ලැබෙනු ඇත.

මේ අතර, ව්‍යාජ තොරතුරු ලබාදී ශ්‍රී ලාංකිකයන් රුසියාවට යැවීමේ වංචාව පිළිබඳ විමර්ශන අඛණ්ඩව සිදු කෙරෙන අතර ඔවුන්ට මිනිස් ජාවාරම් චෝදනා එල්ල කිරීමට සළකා බලමින් සිටින බව ද වාර්තා වේ.

42.31%
17.27%
32.76%