January 6, 2024

සිය බිරිඳගේ දහතුන් හැදී බාලවයස්කාර නැගණියට බරපතළ ලිංගික අපයෝජනයක් කළැයි වරදකරුවකු වූ පුද්ගලයකුට බලපිටිය මහාධිකරණ විනිසුරු රංග දිසානායක වසර දොළහක බරපතළ සිර දඬුවමක් පෙරේදා (04) නියම කර ඇත.

එම බාලවයස්කාර දැරිය ලිංගික අපයෝජනයට ලක්කිරීමට කාමරයක් ලබාදී, ඊට අනුබල දුන්නේ යැයි වරදකරුවකු වූ අයකුටද වසර දෙකක බරපතළ සිර දඬුවමක් සහ රුපියල් 10,000ක දඩමුදලක්ද විනිසුරුවරයා නියෝග කර තිබේ.

සිය බිරියගේ දහතුන් හැවිරිදි බාල වයස්කාර නැගණිය පාසල ඇරී නිවෙසට එමින් සිටියදී විත්තිකාර පුද්ගලයා ඇය බලහත්කාරයෙන් මිතුරකුගේ නිවෙසට රැගෙන ගොස් ඇයට බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක්කර ඇත්තේ, 2017 ජනවාරි මස 03 වැනිදා හෝ ඊට ආසන්න දිනයක දී බව අධිකරණයේ දී හෙළිව ඇත.

බාලවයස්කාර තරුණිය මේ ගැන වැඩිහිටියන්ට දැන්වීමෙන් පසුව ඔවුන් පොලිසියට මේ සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ලකට අනුව විත්තිකාර පුද්ගලයා සහ ඔහුට කාමරයක් ලබාදුන් තැනැත්තා සැකපිට ප්‍රශ්න කිරීම සඳහා පොලිසිය අත්අඩංගුවට ගෙන, සැකකරුවන් දෙදෙනාට එරෙහිව චෝදනා ගොනුකර නඩු පවරා තිබේ.

විත්තිකාර පුද්ගලයා බාලවයස්කාර නෑනන්ඩිය බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් බරපතළ ලිංගික අපයෝජනය කළා යැයි සාධාරණ සැකයකින් තොරව ඔප්පු වන හෙයින්, ඔහුට බාලවයස්කාර දැරියක බලහත්කාරයෙන් පැහැරගෙන යෑමේ පළමු චෝදනාවට වරදකරු කරමින් බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවමක් ද රුපියල් දසදහසක දඩ මුදලක් ද, දඩ මුදල් නොගෙවන්නේ නම් මාස හයක ලිහිල් සිර දඬුවමක් නියම කර ඇත.

බාල වයසකාර දැරියකට බරපතළ ලිංගික අපයෝජනයක් කිරීමේ දෙවැනි චෝදනාවට වැරදිකරු කරමින් බරපතළ වැඩ සහිත වසර දහයක සිර දඬුවමක් ද රුපියල් 25,000ක දඩ මුදලක් ද, එය නොගෙවන්නේ නම් වසරක ලිහිල් සිර දඬුවමක්ද නියම කළ විනිසුරුවරයා, වින්දිත දැරියට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ගෙවන ලෙසටද නියෝග කර තිබේ.

විත්තිකාර පුද්ගලයාට බාලවයස්කාර දැරියට බරපතළ ලිංගික අපයෝජනයක් කිරීමට කාමරයක් දී එයට අනුබල දීමේ චෝදනාවට වැරදිකරුවකුවූ අයට බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවමක් හා රුපියල් 10,000ක දඩමුදලක් ගෙවන ලෙසත් දඩ මුදල් නොගෙවන්නේ නම් මාස හයක ලිහිල් සිර දඩුවමක් ලබා දෙන ලෙසත් මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර ඇත.(ලංකාදීප)

42.31%
17.27%
32.76%