January 30, 2024

තම බාල සොහොයුරාගේ දස හැවිරිදි දියණිය දූෂණය කර බරපතළ ලිංගික අපයෝජනයට ලක්කළ බවට චෝදනා ලැබ සිටි විත්තිකරුවකුට මහනුවර මහාධිකරණ විනිසුරු ඩබ්ලිව් දර්ශිකා විමලසිරි වසර 50ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කර ඇත.

අධිචෝදනා තුනක් යටතේ චෝදනා ලැබ සිටි විත්තිකරුට පළමු චෝදනා දෙක යටතේ වසර 20 බැගින් බරපතළ වැඩ සහිත සිරදඬුවම් සහ තෙවැනි චෝදනාව යටතේ වසර 10 බැගින් වූ බරපතළ වැඩ සහිත වසර 50ක සිර දඬුවමක් විනිසුරුවරිය නියම කර තිබේ.

රුපියල් 15,000ක දඩයක් සහ වින්දිතයාට රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙස නියම කර ඇති අතර, දඩ මුදල් නොගෙවන්නේ නම් තවත් මාස හයක සිර දඬුවමක් සහ වන්දි ගෙවීම පැහැර හරින්නේ නම් වසර දෙකක සිර දඬුවමක් නියම කර තිබේ.

විත්තිකරු මහනුවර මහමුල්ගම ප්‍රදේශයේ පදිංචිකරුවකුවන අතර, ඔහු අපයෝජනයට ලක් වූ දැරියගේ පියාගේ වැඩිමහල් සහෝදරයා වේ.

ස්ත්‍රී දූෂණය සහ බරපතළ අසාමාන්‍ය ලිංගික අපයෝජන සිදුකිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා ඔහුට අධිචෝදනා පවරා ඇත.

දඬුවම් නියම කරමින් මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කර ඇත්තේ, විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව චෝදනා තහවුරු කර ඇති බවයි.

42.31%
17.27%
32.76%