March 6, 2025

වනජීවී වාසස්ථාන හරහා දුම්රිය මාර්ග ඉදිකිරීම හේතුවෙන් අලි ඇතුන් දුම්රියේ ගැටීම සැළකිව යුතු ලෙස ඉහළ ගොස් ඇති බව පරිසර යුක්ති කේන්ද්‍රය පවසයි.

එහි සභාපති හේමන්ත විතානගේ පැවසුවේ, මෙම ඛේදනීය සිදුවීම් බොහෝවිට සිදුවන්නේ විශේෂයෙන් අලි ඇතුන් ආහාර සහ ජලය සොයා ඔවුන්ගේ සාම්ප්‍රදායික සංක්‍රමණ මාර්ග හරහා ගමන් කරන විට බවයි.

එවැනි අනතුරු බොහෝවිට සිදුවන්නේ අලුයම හෝ රාත්‍රියේදී පෙනීම අඩුවීම හේතුවෙන් බව ද ඔහු පෙන්වාදෙයි.

පසුගිය වසර දහතුනක කාලය තුළ අවම වශයෙන් වන අලි 151 දෙනකු දුම්රියේ ගැටීමෙන් මියගොස් ඇති බව නිල වාර්තාවලින් හෙළිවන බව ද ඔහු පැවැසීය.

එලෙස මියගිය අලි ඇතුන්ගෙන් බහුතරයක් වයස අවුරුදු 30 ත් 40 ත් අතර ප්‍රජනක වයසේ පසුවූ බවත්, එය අලි ගහණය අඩුවීමට බලපාන තීරණාත්මක සාධකයක් බවත් හේමන්ත විතානගේ පෙන්වා දී තිබේ.

දුම්රියේ ගැටීමෙන් අලි මරණ සිදුවීම වැළැක්වීමේ කමිටුව මෙම අලි මරණ වැළැක්වීම සඳහා සාධක 21 ක් හඳුනාගෙන ඇත.

දුම්රිය අනතුරු හේතුවෙන් වන අලි මරණ හුදෙක් පාරිසරික හෝ සංරක්ෂණ ප්‍රශ්නයක් පමණක් නොව ශ්‍රී ලංකාවේ අනන්‍යතාවට සහ ජෛව විවිධත්වයට ද තීරණාත්මක බලපෑමක් ඇති කරයි.

අලි ඇතුන් වනාන්තර පරිසර පද්ධතිවල ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා ඉතා වැදගත් කාර්යභාරයක් ඉටුකරන ප්‍රධාන විශේෂයකි.

ඔවුන්ගේ මියයෑම පරිසරයට පමණක් නොව රටේ සමාජ ආර්ථික සංස්කෘතික පද්ධතියට ද බලපායි.