January 19, 2024

රුපියල් කෝටි 08කට අධික වටිනාකමකින් යුත් අතිසුඛෝපභෝගි V8 වර්ගයේ ජීප් රථයකට ව්‍යාජ අංක තහඩු දෙකක් සවිකර ධාවනය කරමින් සිටි මහා පරිමාණ වාහන ජාවාරමකට සම්බන්ධ බවට සැකකරන පුද්ගලයකු බණ්ඩාරගම ගැලනිගම අධිවේගී මාර්ගයේ කොළඹ පිවිසුමේදී ගැලනිගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද (19) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ බණ්ඩාරගම විශාකාවත්ත ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙකි.

පොලිස් භාරයට ගත් ජීප් රථයේ චැසි සහ එන්ජින් අංක මකාදමා තිබූ බවත්, සැකකරු භාරයේ තිබී විවිධ වාහනවලට අයත් ලියාපදිංචි පොත් 10ක් හා ලියාපදිංචි අංක තහඩු දෙකක් ද පොලිස් භාරයට ගෙන ඇති බවත්, පැවැසේ.

සුඛෝපභෝගි ජීප් රථය අධිවේගී පිවිසුම ආසන්නයේ පොලිස් නිලධාරීන් විසින් නැවතීමත් සමඟම, සැකකරු පොලිස් නිලධාරීන් වෙත රුපියල් එක්ලක්ෂ පනස්දහසක අල්ලස් මුදලක් ලබාදීමට උත්සාහ කර බැලූ බව ද පොලිසිය කියයි.

සැකකරු අත්අඩංගුවට ගෙන සුළු මොහොතක් ගතවෙද්දී ඔහු මුදාහරින ලෙස බලපෑම් කරමින් විවිධ පාර්ශ්වවලින් පොලිසිය වෙත දුරකතන ඇමතුම් රැසක් ලැබුණු බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

හොරණ මාර්ගයේ සිට පැමිණ තිබූ සුඛෝපභෝගි ජීප් රථය කොළඹ පිවිසුමෙන් අධිවේගී මාර්ගයට ඇතුළුවීම සඳහා පැමිණීමේදී එහි රාජකාරියේ යෙදී සිටි පොලිස් සැරයන්වරයාගේ අවධානය වාහනයේ ඉදිරිපස අංක තහඩුව කෙරෙහි යොමු වී ඒ පිළිබඳ සැකයක් මතුව තිබේ.

පසුව වාහනය නවතා සිදුකළ පරීක්ෂාවේදී එහි සවිකර ඇත්තේ වෙනත් වාහනයක අංක තහඩුවක් බවට මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.

ඒ සම්බන්ධයෙන් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ජීප් රථයට අදාළ බලපත්‍රය කල්ඉකුත් වී ඇති බැවින්, මෝටර් රථයක ලියාපදිංචි අංක තහඩුව සවිකරගෙන ආ බව සැකකරු පැවසුවත්, ජීප් රථයේ චැසි හා එන්ජින් අංක ද ව්‍යාජ අයුරින් කොටා තිබූ බවට වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි.

සැකකරු සන්තකයේ තිබූ වාහන ලියාපදිංචි පොත් 10 සම්බන්ධයෙන් සහ ලියාපදිංචි අංක තහඩු දෙක සම්බන්ධයෙන් ද දීර්ඝ විමර්ශනයක් සිදුකරන බව පොලිසිය පවසයි.

ගැලනිගම පොලිසිය මඟින් සැකකරු අත්අඩංගුවට ගෙන බණ්ඩාරගම පොලිසිය වෙත භාරදී ඇත.

සැකකරු අද (19) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, වාහනය සම්බන්ධයෙන් සහ ලියාපදිංචි පොත් 10 සම්බන්ධයෙන් රේගු පරීක්ෂණ වාර්තා, රජයේ රස පරීක්ෂක වාර්තා හා මෝටර් රථ පරීක්ෂක වාර්තා ද අද (19) දිනයේ ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කළේය.(දිනමිණ)

42.31%
17.27%
32.76%