December 10, 2024

වන සතුන්ගෙන් වගාවන් ආරක්ෂා කර ගැනීම සඳහා දීර්ඝ කාලීන, විද්‍යාත්මක හා තිරසාර විසඳුමක් දියත් කිරීමට පරිසර අමාත්‍යාංශය සහ තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය එක්ව කටයුතු කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක, ඇමැති නලින්ද ජයතිස්ස නිවේදනය කළේය.

ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මෙම ප්‍රශ්නය සංවේදීව හැසිරවිය යුතු බවයි.

සංඛ්‍යා ලේඛනවලට අනුව, ඇතැම් සත්ව විශේෂවල ගහනය සැළකිව යුතු ලෙස වැඩි වී ඇති අතර, එය මිනිසුන්ට ඔවුන්ගේ වගා සම්බන්ධ ප්‍රායෝගික අභියෝගවලට තුඩු දී ඇති බව ඔහු සඳහන් කළේය.

ජනතාවගේ ජීවනෝපාය, වන සතුන්ගේ ජීවිත සහ පරිසරය ආරක්ෂා කිරීම සඳහා රජය මේ වන විට සමබර ප්‍රවේශයක් ක්‍රියාත්මක කරමින් සිටින බව ඔහු පැවසීය.

තම වගාවන්ට හානි කරන සතුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට මිනිසුන්ට ඉඩ දීම සම්බන්ධයෙන් තම අදහස් ප්‍රකාශ කිරීමට පරිසරවේදීන්ට සහ රාජ්‍ය නොවන සංවිධානවලට අයිතියක් ඇති බවත් තිරසාර විසඳුම් හඳුනාගැනීම සඳහා සාකච්ඡා අවශ්‍ය වන බවත් ඔහු සඳහන් කළේය.

රජය ගොවීන් මුහුණ දෙන අභියෝගවලට මුල්තැන දෙන බව ද ඔහු පෙන්වා දුන්නේය.

වඳුරන්, මොනරුන්, අලි ඇතුන් වැනි වන සතුන්ගෙන් තම වගාවන් ආරක්ෂා කර ගැනීමට ගොවීන් ද මහත් පරිශ්‍රමයක් දරනු ලැබේ.

මෙම සතුන්ගේ වැඩිවන තර්ජන හේතුවෙන් විපතට පත් ප්‍රදේශවල ඇතැම් පදිංචිකරුවන් තම නිවෙස් අතහැර ගොස් ඇති බව ද වාර්තා පෙන්වා දෙයි.

 

42.31%
17.27%
32.76%