January 11, 2024

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත්කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ජනාධිපතිවරයාට අනුමැතිය ලබාදීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ජාතික ජන බලවේගයේ නීතීඥයකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.

පෙත්සම්කාර නීතිඥ හර්ෂණ නානායක්කාර ප්‍රකාශ කරන්නේ, 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ ජනාධිපති කොමිසම විසින් රාජ්‍ය නිලධාරීන් සහ දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසකගේ බරපතළ නොසැලකිලිමත්භාවය හෝ අතපසුවීම් අනාවරණය කර ඇති අතර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු ශ්‍රී ලංකා පොලිසියේ සේවය කරන පිරිසකට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට නිර්දේශ කර ඇති බවයි.

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ගාලු මුවදොරදී නිරායුධ පුරවැසියන්ට පහර දුන් පිරිස වැළැක්‌වීමට, තමා සතුව සැලකිය යුතු පොලිස් බලයක් සහ සහ හදිසි නීති රෙගුලාසි භාවිත කළ හැකිව තිබියදී, එසේ කිරීමට දේශබන්දු තෙන්නකෝන් අපොහොසත් වූ බවද පෙත්සම්කරු වැඩිදුරටත් කියාසිටියි.

2022 මැයි 16 වැනිදා වන විට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තෙන්නකෝන්, 2022 මැයි 09 වැනි දින සිදු වූ සිද්ධීන්වලට සම්බන්ධ අයකු ලෙස නීතිපති දෙපාර්තමේන්තු විසින් හඳුනාගෙන ඇති අතර, ඔහු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා නිර්දේශ යොමු කර ඇති බවද ඔහු පවසා ඇත.

2022 මැයි 30 වන විට, තෙන්නකෝන්ගේ හැසිරීම සම්බන්ධයෙන් කඩිනම් අපරාධ විමර්ශනයක් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව නිර්දේශ කර ඇති බවද පෙත්සම්කරු පෙන්වාදෙයි.

වත්මන් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු වගඋත්තරකරුවන්, හිටපු හමුදා සෙබළකුට වධහිංසා පැමිණවීම, නීතිවිරෝධී අත්අඩංගුවට ගැනීම් සහ නීතියේ සමාන ආරක්ෂාව ප්‍රතික්ෂේප කළ අත්තනෝමතික පරිපාලන ක්‍රියාමාර්ගවලින් නිදහස් වීමේ මූලික අයිතිවාසිකම් කඩකර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා තීන්දු කළ බවද පෙත්සම්කරු සඳහන් කරයි.

දේශබන්දු තෙන්නකෝන්ට හට අධිකරණය හමුවේ පෙනීසිටින ලෙසට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය සිතාසි නිකුත් කර ඇති බවද පෙත්සම්කරු ප්‍රකාශ කරයි.

ඒ, රුපියල් මිලියන 17.8කට අදාළව සාපරාධී විශ්වාසය කඩකිරීමේ වරද සිදුකිරීමට ආධාර අනුබල දුන් බවට එල්ල වූ චෝදනාවක් මතයි.

2022 ජූලි 09වැනි දින ජනාධිපති මන්දිරය තුළදී විරෝධතාකරුවන් විසින් අදාළ රුපියල් මිලියන 17.8ක මුදල සොයාගෙන තිබිණි.

ඉහත කරුණු සැළකිල්ලට ගැනීමේදී, පොලිස්පතිවරයාගේ කාර්යාලයේ රැඳී සිටින පරිදි දේශබන්දු තෙන්නකෝන් හට වැඩි වගකීම් සහ බලයක් ලබාදීම අත්තනෝමතික සහ අතාර්කික වන අතර එය ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ ආරක්ෂාව ආරක්ෂාව සඳහා ඇති අයිතියට හානිකරන බවද පෙත්සම්කරු පෙන්වාදෙයි.

42.31%
17.27%
32.76%