November 25, 2023

නිවසේ කාමරයක සිරකර පුටුවක ගැට ගසා ඇඳ ඇතිරිලි, කොට්ට, මෙට්ට ඇඟට දමා සිය බිරිඳ ගිනි තමා ඝාතනය කිරීමට සූදානම් වූ බව කියන සැමියකු බලපිටිය, රන්දොඹේ දී අත්අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලිසිය පවසයි.

ඔහු මිනීමැරුම් නඩුවක ප්‍රධාන සැකකරුවකු වන අතර ඇපමත සිටින අයකු බවද පොලිසිය සඳහන් කරයි.

පෙරේදා (23)පොලිසිය එම නිවසට යන අවස්ථාවේ දී සැකකරු කාමරයේ දොර වසාගෙන බිරිඳට ගිනි තැබීමට ලයිටරය ගසමින් සිට ඇති අතර, අම්බලන්ගොඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී.එම්. ඉරාන් දොර කඩාගෙන කාමරයට ගොස් සැකකරු සමඟ පොරබදා ඔහු මෙල්ල කර අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු සිය බිරිඳගේ සොහොයුරාට පිහියෙන් ඇන ඝාතනය කිරීමේ චෝදනාව යටතේ මාස ගණනාවක් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ සිට ඇප මත සිටින අයකු බවත්, එසේ ඇප මත පැමිණ සිටියදී එම ඝාතනය සම්බන්ධයෙන් සාක්ෂි දෙන බිරියගේ මවට සාක්ෂි නොදෙන ලෙස බලකරමින් මරණ තර්ජනය කර මාස විසිනවයක් යළිත් රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇති බවත් පොලිසිය පවසයි.

මෙවර ඇප මත පැමිණි මෙම සැකකාර සැමියා සිය මස්සිනාගේ ඝාතනය සම්බන්ධයෙන් භාර්යාවගේ සාක්ෂි වසන් කිරීමට ඇය ඝාතනය කරන්නට සූදානම්ව සිටි බවත්, ඒ සඳහා කාමරයේ සිර කොට සිටි භාර්යාවගේ මරළතෝනිය ඇසුණු අයකු දුන් තොරතුරකට අනුව එම නිවසට ගොස් සැකකරුගේ ගිනි තැබීමෙන් ඇය බේරාගැනීමට හැකිවූ බවත් පොලීසිය කියයි.

යම් හෙයකින් ඔහු ගිනි තැබීමට සුදානම් වෙමින් සිටි ලයිටරය පත්තුවූයේ නම් තත්ත්වය මීට වෙනස් වන බවත් පොලිසිය එම ස්ථානයට ක්ෂණිකව ගොස් දොරකඩා කාමරයට ඇතුළු නොවූයේ නම් සැකකරු ගිනි තබා හෝ පහරදී භාර්යාව ඝාතනය කිරීම නොවැළැක්විය හැකිව තිබූ බවත් පොලිසිය කියයි.

සිය භාර්යාව ගිනි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ චෝදනාව යටතේ සැකකරු බලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

42.31%
17.27%
32.76%