December 22, 2023

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයට සම්බන්ධ බවට සැකකෙරෙන, කොල්ලම් ප්‍රදේශයේ ශ්‍රී ලාංකිකයන් මිනිස් ජාවාරමේ යෙදවූ සිද්ධීන් දෙකක් සම්බන්ධයෙන් ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය (NIA) විමර්ශනයක් ආරම්භ කර තිබේ.

පසුගිය මාසයේදී ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් කොල්ලම් නැගෙනහිර සහ පල්ලිතෝට්ටම් යන පොලිස් ස්ථානවල ලියාපදිංචි වී ඇති නඩු පිළිබඳ විමර්ශනයන් එම ඒජන්සිය වෙත පවරා ගන්නා ලෙස නියෝග කර තිබුණි.

එහිදී අනාවරණය වී ඇති ආකාරයට ශ්‍රී ලාංකිකයන් කැනඩාවට රැගෙන යෑමට සැලසුම් කර තිබූ අතර ඒ සඳහා ධීවර යාත්‍රා ක්‍රියාකරුවන් කිහිපදෙනකු සම්බන්ධ කරගෙන ඇත.

අත්අඩංගුවට ගත් එම පුද්ගලයන් 24 දෙනා කොල්ලම් වෙත පැමිණ ඇත්තේ නාගපට්ටිනම්, වෙල්ලෝර්, චෙන්නායි, තිරුවෙන්ල්වේලි, ත්‍රිචිරපල්ලි සහ ඩින්ඩිගුල් යන සරණාගත කඳවුරුවල සිටය.

කේරළ මහාධිකරණය විසින් ඔවුන්ට ඇප ලබාදුන් අතර ඉන් කිහිපදෙනෙක් කේරළයේ පුනරුත්ථාපන මධ්‍යස්ථානවල රැඳී සිටිති. තවත් පිරිසක් නැවත තමිල්නාඩුවේ සරණාගත කඳවුරු වෙත යවා ඇත.

මෙම සිදුවීමත් සමග NIA විසින් තමිල්නාඩුවේ සහ කර්නාටක ප්‍රාන්තවල මිනිස් ජාවාරම් කිහිපයක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

එසේම, කර්නාටක සහ තමිල්නාඩු ප්‍රාන්තවල හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සමඟ සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයන් කිහිපදෙනකුද NIA විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ.

42.31%
17.27%
32.76%