November 29, 2023

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු ගමන් ගත් ජීප් රථයක් මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල යග්ගහපිටිය පිටවීමේ දොරටුව පසුකරමින් සිටියදී ප්‍රවේශ පත්‍ර කවුන්ටරයේ බැරියරය එම ජීප් රථය මතට පතිත වී ඊට හානි සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.

ඊයේ (28) උදෑසන 9.30ට පමණ සිදු වූ මෙම සිද්ධියෙන් මහින්ද රාජපක්‍ෂ ගමන් ගත් අතිසුඛෝපභෝගී ජීප් රථයේ ඉදිරිපස වීදුරුවට සහ රථයට හානි සිදු වී තිබේ.

මහින්ද රාජපක්‍ෂ සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු අනුරාධපුරය බලා ගමන් ගනිද්දී කුරුණෑගල යග්ගහපිටිය පිටවීමේ දොරටුව හරහා ගොස් ඇත්තේ පොලිස් යතුරු පැදියක් සහ ආරක්‍ෂක නිලධාරීන් ගමන් ගත් ජිප් රථයක් ද පෙරටු කරගෙනය.

පොලිස් යතුරුපැදිය සහ ආරක්‍ෂකයන් ගමන් ගත් ජීප් රථය පිටවීමේ දොරටුව පසුකරනවාත් සමගම ටිකට් කවුන්ටරයේ සිටි සේවකයා එහි තිබූ බැරියරය පහතට දමා ඇති අතර එය මහින්ද රාජපක්‍ෂ ගමන් ගත් රථයේ ඉදිරිපස ගැටී කැඩී ගොස් ඇත.

පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම සිද්ධියට සම්බන්ධ සේවකයා පොලිස් භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.

අධිවේගී මාර්ගවල ටිකට් කවුන්ටර්වල රාජකාරි කරන ඇතැම් සේවකයන්ගේ නොසැළකිලිමත්කම නිසා මෙවැනි සිද්ධීන් වන බව පොලිසිය පවසයි.

මීට මාස කීපයකට පෙර අවස්ථා දෙකක දීම හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගමන් ගත් වාහනවල ඉදිරිපස වීදුරුව මතට මෙම බැරියරය වැටීමට සලස්වා ඊට හානි සිදුකර ඇති බව ද පොලිසිය සඳහන් කරයි.(දිවයින)

42.31%
17.27%
32.76%