December 2, 2023

චිත්‍රපට නිෂ්පාදකයකු බව පැවසූ පුද්ගලයකු විසින් ශ්‍රී ලංකාවට ගෙන්වාගෙන, කොළඹ රාත්‍රී සමාජ ශාලාවක නාට්‍යාංගනාවන් ලෙස සේවය කිරීමට සැලසූ පාකිස්ථාන තරුණියන් පිරිසක් ඔවුන්ගේ කළමනාකරු සමග බේරාගැනීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව සමත්ව තිබේ.

ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ තොරතුරු මත දෙහිවල ප්‍රදේශයේ මහල් නිවාසයක රැඳී සිටි මෙම පාකිස්ථාන තරුණියන් හයදෙනා සහ ඔවුන්ගේ කළමනාකරු රැගෙන ගොස් ඇත.

ඔවුන් මෙරටට පැමිණ ඇත්තේ සැප්තැම්බර් 18 වැනිදා බව වාර්තා වේ.

මෙම පිරිස ආගමන විගමන නිලධාරීන්ට පවසා ඇත්තේ තමන් චිත්‍රපට නිෂ්පාදකයකු බව කියන පුද්ගලයකු විසින් ඔහුගේ නවතම චිත්‍රපටයේ වැඩ සඳහා යොදාගන්නා පොරොන්දු කරවාගනිමින් කරච්චි සිට ශ්‍රී ලංකාවට ගෙන්වාගෙන ඇති බවයි.

එම පුද්ගලයා ඔවුන්ට ශ්‍රී ලංකාවට පැමිණීමට ගුවන් ටිකට්පත් සහ මාසයක ව්‍යාපාරික වීසා සකස්කර ඇති අතර රුපියල් 250,000ක මාසික වැටුපක් ද පොරොන්දු වී ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

කෙසේවෙතත් මෙම පිරිසට චිත්‍රපටියක කිසිදු කාර්යයක් ලබාදී නොතිබුණත් කොල්ලුපිටිය ප්‍රදේශයේ ජනප්‍රිය රාත්‍රී සමාජ ශාලාවක නළඟනන් ලෙස නතර වී එහි වැඩ කිරීමට සලස්වා තිබේ.

මෙරට ව්‍යාපාරිකයකු පාකිස්ථානු ජාතිකයන් හත්දෙනකුගේ විදේශ ගමන් බලපත්‍ර තබාගෙන ඔවුන් සමාජ ශාලාවක නර්තන ශිල්පීන් ලෙස යොදවා සූරාකන බව දැනගත් ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශය පරීක්ෂණ ආරම්භ කර තිබිණි.

වයස අවුරුදු 22ත් 35ත් අතර වයස්වල පසුවන මෙම විදේශීය කාන්තාවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන් පවසා ඇත්තේ අදාළ ව්‍යාපාරිකයා තම දෙහිවල මහල් නිවාසය සඳහා මුදල් ගෙවා ඇති නමුත් සමාජ ශාලාවේ වැඩ සඳහා රුපියලක් හෝ ආහාර හෝ තමන්ට ලබානොදුන් බවයි.

සතියේ දින හයේ වැඩ සහ අලුත් චිත්‍රපටියක පුහුණුව, නවාතැන් සහ කෑම බීම සමඟ රුපියල් 250,000ක වැටුපක් ලබාදෙන බවට පොරොන්දු වෙමින් චිත්‍රපට නිෂ්පාදකයා තම අත්සනින් තොරව ලබා දුන් ගිවිසුමක් මොවුන් සතුව තිබී ඇත.

ඔවුන්ගේ වීසා බලපත්‍රයේ පළමු දින 30 අවසන් වූ විට එම පුද්ගලයා ව්‍යාපාරික වීසා බලපත්‍රය දෙසැම්බර් දක්වා දීර්ඝ කර තිබේ.

කෙසේවෙතත්, මෙම පිරිස මුදල් නොගෙවා රාත්‍රී සමාජ ශාලාවක සේවය කිරීම ප්‍රතික්ෂේප කර ඇති අතර තිදෙනෙක් ඩුබායි බලායෑමට තීරණය කර තිබේ.

ඒ සඳහා ඔවුන්ගේ මුදලින් ප්‍රවේශ පත්‍ර සකස් කරගත් විට, ව්‍යාපාරිකයා ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර බ්‍රහස්පතින්දා අලුයම ගුවන් තොටුපළේදී ආපසු ලබාදීමට එකඟ වී ඇත.

එකඟ වූ පරිදි එම පුද්ගලයා තම විදේශ ගමන් බලපත්‍ර සමඟ බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළට නොපැමිණි විට ඔවුන් ආගමන විගමන නිලධාරීන්ට පැමිණිලි කර ඇත.

කළමනාකරු ඇතුළු සෙසු සිව්දෙනා පිටවීමේ ප්‍රවේශපත්‍ර සඳහා මුදල් නොමැති බැවින් ශ්‍රී ලංකාවේ රැඳීසිට ඇත.

මෙම පිරිස ආගමන විගමන භාරයට ගත් අවස්ථාවේදී ව්‍යාපාරිකයා ද කාර්යාලයට පැමිණ විදේශිකයින් තම ව්‍යාපාරික ගිවිසුම කඩකළ බවට ප්‍රකාශ කර තිබේ.

ඔවුන් චිත්‍රපටය සඳහා නිසි පුහුණුවක් ලබානොගත් බවත්, ඒ හේතුවෙන් ඔවුන් රාත්‍රී සමාජ ශාලාවකට දමා නර්තනය ඉගැන්වූ බවත් ඔහු නිලධාරීන්ට පවසා තිබේ.

ආගමන විගමන නිලධාරීන්ට අනුව පාකිස්ථාන කාන්තාවන් සහ ඔවුන්ගේ කළමනාකරු රාත්‍රී සමාජ ශාලාවේදී ලැබුණු සන්තෝසම්වලින් පමණක් ඔවුන්ගේ ආහාර අවශ්‍යතා යන්තම් සරිකරගෙන තිබේ.

මෙම සිද්ධිය මිනිස් ජාවාරමට හසුවීම නිසා ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටියගේ උපදෙස් මත ආගමන විගමන බලධාරීන් විසින් මෙම විදේශිකයන් හත්දෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් ජාවාරම් සහ සමුද්‍ර ආරක්ෂක විමර්ශන අංශය (HTSIMSID) වෙත භාර දී තිබේ.

චිත්‍රපට නිෂ්පාදකයකු බව කියන ව්‍යාපාරිකයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

කණ්ඩායමේ කළමනාකාරවරයා ලෙස කටයුතු කළ පාකිස්ථාන ජාතිකයා තරුණියන් හයදෙනාගෙන් එක් අයකු සමඟ විවාහ වී සිටින අතර ඔවුන් වෘත්තීය නර්තන ශිල්පීන් සහ චිත්‍රපට ක්ෂේත්‍රයේ සේවය කරන පිරිස බව ප්‍රකාශ කර ඇත.

චිත්‍රපට කර්මාන්තයේ නියැලීමේ බලාපොරොත්තුවෙන් ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණ ඇති නමුත් වංචනිකයකු විසින් රාත්‍රී සමාජ ශාලාවක රඳවා ඔවුන් රැවටීමට ලක්කර ඇත.

42.31%
17.27%
32.76%