September 1, 2024

පසුගියදා ශ්‍රී ලංකාවට රැගෙන ආ පාතාල කල්ලි සාමාජිකයකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලට අනුව අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සහ ජීව අත්බෝම්බයක් සොයා ගැනීමට පොලිසිය සමත් වී තිබේ.

මතුගම ශාන් අරෝෂ් නමැති පාතාල නායකයාගේ සමීපතමයකුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අගලවත්ත ප්‍රදේශයේ නිවසක් පිටුපස වළදමා තිබි මෙම පුපුරණ ද්‍රව්‍ය සොයාගෙන තිබේ.

සොයා ගත් භාණ්ඩ අතර විදේශයක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සහ C4 අධිබලැති පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 310ක් ඇතුළත් වේ.

මිනීමැරීමට තැත් කිරීම, පැහැර ගැනීම සහ මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් මතුගම මහේස්ත්‍රාත් අධිකරණය සැකකරුට එරෙහිව මීට පෙර වරෙන්තු කිහිපයක් නිකුත් කර තිබිණි.

සැකකරු පසුගිය සතියේ ඩුබායි සිට මෙරටට ගෙන්වාගෙන තිබිණි.