April 10, 2025

මිහින්තලය ප්‍රදේශයේ පිහිටි හෝටලයකට ඇතුළු වී ව්‍යාපාරිකයකු රැගෙන ගොස් මරණ තර්ජන එල්ල කර මුදල් කොල්ලකෑමේ සිද්ධියකට සම්බන්ධ පොලිස් නිලධාරින් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු මිහින්තලය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ පොළොන්නරුව පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් සැරයන්වරුන් දෙදෙනකු බවයි.

සැකකරුවන් අදාල හෝටලයට ඇතුළු වී ඔවුන් පොලිස් නිලධාරීන් බව පවසා එම ව්‍යාපාරිකයා ඔවුන් පැමිණි මෝටර් රථයෙන් රැගෙන ගොස් නිවැසියන් ඝාතනය කරන බවට තර්ජනය කර තිබේ.

අනතුරුව සැකකරුවන් අදාළ ව්‍යාපාරිකයාගේ බිරිඳගේ බැංකු ගිණුමේ තිබූ මුදල් ඇය විසින් රැගෙන ඒමට සලස්වා එම මුදල් කොල්ලකා පළාගොස් ඇතැයි ද පොලීසිය පවසයි.

සැකකරුවන් විසින් එලෙස කොල්ලකා ඇති මුදල රුපියල් 4,500,000 කි.

එම සිද්ධියට මුහුණ පෑ ව්‍යාපාරිකයා 44 හැවිරිදි විශ්‍රාමික නාවික යාන්ත්‍රික සෙබළෙකු බව ද පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මිහින්තලය පොලීසිය මගින් සිදුකෙරේ.