February 17, 2025

යාපනය විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ හතරවැනි වසරේ ශිෂ්‍යයකු ඔහුගේ පන්ති තහනමට එරෙහිව මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් 14දා ඉදිරිපත් කොට තිබේ.

ශ්‍රී ශිවගජන් නැමති එම ශිෂ්‍යයා සිය පෙත්සම ජ්‍යෙෂ්ඨ නීතිඥ ආචාර්ය කේ. ගුරුබරන් මගින් ඉදිරිපත් කොට ඇති අතර, වගඋත්තරකරුවන් ලෙස නම්කොට ඇත්තේ, යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපති ශ්‍රී සත්කුණ රාජා, කලා පීඨයේ පීඨාධිපති මහාචාර්ය එස්. රඝුරාම් සහ ශිෂ්‍ය විනය නිලධාරියා වන කානේෂන් යන තිදෙනාය.

ඔහු සිය පෙත්සම මගින් ප්‍රකාශ කොට ඇත්තේ, විශ්වවිද්‍යාලයේ කලා පීඨාධිපති එස්. රඝුරාම් විසින් ගොනුකරන ලදපැමිණිල්ලක් මත පදනම්ව තමන්ගේ ශිෂ්‍යභාවය 2025 ජනවාරි 27 දා සිට බල පැවැත්වෙන පරිදි වසරකට තහනම් කිරීම අසාධාරණ හා නිසි ලෙස කරුණු සොයාබැලීමකින් තොරව සිදුකරන ලද්දක් නිසා, තමන්ගේ පන්ති තහනම ඉවත් කිරීමට නියෝගයක් ලබාදෙන ලෙසයි.

තවද රඝුරාම් විසින් යාපනයේදී පවත්වන ලද ජනමාධ්‍ය හමුවකදී තමන්ගේ නම භාවිත කරමින් තමන් සම්බන්ධයෙන් අභූත චෝදනා නැගීම හා එම ප්‍රකාශයන් ප්‍රසිද්ධ ජනමාධ්‍යයේ පළවීම නිසා තමන්ට සිදු වූ අපකීර්තියට යම් සාධාරණයක් ඉටුකොට දෙන ලෙසද පෙත්සම මගින් ඉල්ලා ඇත.

තමන් විසින් ජනමාධ්‍යයට කළේ යැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් පමණක් විශ්ව විද්‍යාලයේ පාලන අධිකාරිය කරුණු සළකා බලා අවසානයේදී ඒකපාර්ශ්විකව තමන්ට පන්ති තහනමක් ලබා දී ඇති බව ඔහු සිය පෙත්සමේ සදහන් කොට තිබේ.