42.31%
17.27%
32.76%
June 12, 2024

පාරදෘශ්‍යභාවයේ දුර්වලතා, මහජන තොරතුරුවල රහස්‍යභාවය, පක්ෂග්‍රාහී පාරිසරික බලපෑම් තක්සේරුව සහ මිලකරණය යන කරුණු සඳහන් කරමින් Adani Green Energy හි මන්නාරම සුළං බලාගාරය සම්බන්ධයෙන් ප්‍රකට පරිසරවේදීන් තිදෙනෙකු සහ බිෂොප්වරයකු ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

මන්නාරමේ යෝජිත මෙගාවොට් 250ක සුළං බලාගාර ව්‍යාපෘතිය මිලදී ගැනීමට සහ ඉදිකිරීමට එරෙහිව කීර්තිමත් පරිසරවේදීන් වන රොහාන් පෙතියාගොඩ, මහාචාර්ය නිමල් ගුණතිලක, මහාචාර්ය සරත් කොටගම මන්නාරම රදගුරු බැස්ටියන් පියතුමා සමඟ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ.

මෙම ව්‍යාපෘතිය කිසිදු තරඟකාරී ලංසුවකින් තොරව ඉන්දියාව පදනම් කරගත් Adani Green Energy PTE Ltd වෙත ප්‍රදානය කර ඇත.

ඇමැති මණ්ඩලය, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, ආයෝජන මණ්ඩලය, ලංකා විදුලිබල මණ්ඩලය, මහජන උපයෝගිතා කොමිෂන් සභාව සහ නීතිපති ඇතුළු 67 දෙනෙකු වගඋත්තරකරුවන් ලෙස මෙම නව නඩුවේ නම් කර ඇත.

ව්‍යාපෘතිය සඳහා ගෙන යන පාරිසරික බලපෑම් තක්සේරුවේ විශ්වසනීයත්වය, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් ඉටු කරන ලද කාර්යභාරය, අපේක්ෂිත කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීමේදී ඇතැම් ක්‍රියා පටිපාටි ගැටලු පිළිබඳ පෙත්සම මගින් අවධානය යොමු කර ඇති අතර ඉන්දීය අගමැති ය නරේන්ද්‍ර මෝදිගේ සමීපතම ව්‍යාපාරිකයකු විසින් මෙහෙයවන ලද පෞද්ගලික සමාගමකට මෙම ගනුදෙනුව ලබාදීම සම්බන්ධයෙන් විවේචන මධ්‍යයේ ව්‍යාපෘතිය රජයකින් රජයට කරන ගනුදෙනුවක් ලෙස අර්ථ දැක්වීම ප්‍රශ්න කරයි.

පෙත්සම්කරුවන්, රහස්‍යභාවය, පාරදෘශ්‍යභාවයේ සහ තොරතුරුවල හිඟය මෙන්ම ව්‍යාපෘතියට අදාළව පෙනෙන නීති විරෝධී බව, නීතියට අනුකූල නොවීම සහ/හෝ අක්‍රමිකතා පිළිබඳව සැළකිලිමත් වී තිබේ.

ජාතික අවශ්‍යතා ඉදිරියට ගෙනයෑම, පරිසරය, වෘක්ෂලතා සහ සත්ත්ව විශේෂ, රාජ්‍ය මූල්‍ය ඇතුළු පොදු දේපළ සුරැකීම සහ ආරක්‍ෂා කිරීම, ශ්‍රී ලංකාවේ සාමාන්‍ය මහජනතාවගේ සහ එහි අනාගත පරපුරේ අයිතිවාසිකම් සහ නිදහස සුරක්ෂිත කිරීම සඳහා පෙත්සම්කරුවන් මෙම ක්ෂණික අයදුම්පත්‍රය ගොනු කර ඇත.

පාරිසරික බලපෑම් තක්සේරුව අනුව වසර 20ක කාලයක් සඳහා අමෙරිකානු ඩොලර් 4යි ශත 6ක පිරිවැයක් මත පදනම්ව සිදු කරන ලද සාකච්ඡා තිබියදී රටට පාඩුවක් සහ පාරිභෝගිකයන්ට බරක් පැටවෙන ලෙස වසර 20ක කාලයක් සඳහා ඩොලර් 8යි ශත 26 US ස්ථාවර ගාස්තු සඳහා වන පදනම ද එමගින් ප්‍රශ්න කර ඇත.

සහන ඉල්ලා සිටීමේදී, පෙත්සම්කරුවන් ඉල්ලා සිටින්නේ, පෙත්සම්කරුවන්ගේ සහ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කරන ලෙසත්, අදානිට ව්‍යාපෘතිය ප්‍රදානය කිරීමට ගෙන ඇති තීරණ වැරදි බව ප්‍රකාශ කරන ලෙසත්, යම් ප්‍රතිඵලයක් ලෙස ගනු ලබන ක්‍රියාමාර්ග නීති විරෝධී ලෙස ප්‍රකාශ කිරීමට ඉල්ලා සිටින ලෙසත්ය.

පුනරීන් නගරයේ මෙගාවොට් 234ක සුළං බලාගාරය සඳහා වන පාරිසරික බලපෑම් තක්සේරුව, මන්නාරම සහ පුනරීන් යන නගර දෙකෙහිම පවතින මෙගාවොට් 250 සුළං බලාගාරය සඳහා තාක්ෂණික ඇගයීම් කමිටු වාර්තාව තිබේ නම් හෙළි කරන ලෙසද පෙත්සමින් ඉල්ලා ඇත.

පෙත්සම්කරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තවදුරටත් ඉල්ලා ඇත්තේ පෙත්සමේ දක්වා ඇති සියලු කරුණු තීරණය කරන තුරු ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවන ලෙස අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසයි.

මන්නාරම සහ පුනරීන් දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක වන Adani Green Energy හි සුළං බලශක්ති ව්‍යාපෘතිය, විය හැකි පාරිසරික බලපෑම් සහ “විනිවිදභාවය නොමැතිකම” යන හේතු මත දිවයිනේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කර ඇත.

පසුගිය මාසයේ, ශ්‍රී ලංකාවේ පැරණිතම පාරිසරික සංවිධානයක් වන වනජීවී සහ ස්වභාව ආරක්ෂණ සංගමය ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේ, මන්නාරම දූපතේ අද්විතීය පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමේ අරමුණින් බව සඳහන් කරමිනි.

කෙසේවෙතත්, ඉන්දීය සමාගම පවසන්නේ මන්නාරමේ සිය මෙගාවොට් 250ක සුළං බල ශක්ති ව්‍යාපෘතියට එරෙහිව ‘දුෂ්ට ව්‍යාපාරයක්’ දියත් වන බවයි.

සමහර රාජ්‍ය නිලධාරීන් පවසා ඇත්තේ ඉන්දීය රජය Adaniගේ සුළං බල ව්‍යාපෘතියට සෘජුවම සහාය දක්වන බැවින් අනුමත කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට තමන්ට බලපෑම් එල්ල වී ඇති බවයි.

42.31%
17.27%
32.76%