September 8, 2024

පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ කදුරුවෙල නගරයේ වෙළඳ සැලක ඇතිවූ හදිස්සි ගිනිගැනීමක් හේතුවෙන් විදුලි උපකරණ සහිත වෙළඳසැල් දෙකක් සම්පූර්ණයෙන්ම ගිනි අරගෙන ඇත.

ඊයේ රාත්‍රී අටට පමණක් මෙම ගිනිගැනීම සිදුව ඇති අතර, කාර්මික දෝෂයක් හේතුවෙන් ගිනිගැනීම හට ගන්නට ඇතැයි පොළොන්නරුව පොලිසිය සැක පළකරයි.

ගින්න වෙළඳසැලක දෙවැනි මහලේ හටගෙන ඇති අතර ක්‍රමක් ක්‍රමයෙන් ගින්න යාබද අනෙක් වෙළඳසැලටද පැතිර තිබේ.

පොළොන්නරුව මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් සහ නගරවාසීන් පොළොන්නරු පොලිසිය එක්ව ගින්න මැඩපැවැත්වීමටත් කටයුතු කර ඇත.

පැය තුනකට ආසන්න කාලයක් මෙම ගින්න පැවති අතර සම්පූර්ණයෙන්ම ගින්න මැඩපැවැත්වීමට විශාල පරිශ්‍රමයක් දැරීමට ගිනි නිවන නිලධාරීන්ට සිදුවිය.

මෙම වෙළඳසැල් දෙකම විදුලි භාණ්ඩ අලෙවි කරන තෙමහල් වෙළඳසැල් දෙකක් වන අතර ගින්නෙන් එම වෙළෙඳසැල් දෙකම විනාශයට පත් වී ඇත.

මේ හේතුවෙන් පොළොන්නරුව කදුරුවෙල මඩකලපුව ප්‍රධාන මාර්ගය කඳුරුවෙල නගර මධ්‍යයෙන් අවහිර කළ අතර, මෙම ගින්නෙන් සිදුවූ හානිය පිළිබඳව තක්සේරු කර නොමැත.

ගින්නෙන් තුවාල වූ පුද්ගලයන් ගැන මෙතෙක් වාර්තා වී නොමැත.

පොළොන්නරුව කදුරුවෙල සිට මඩකලපුව ප්‍රදේශයට ධාවනය කරන රථ වාහන සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලදී.